GSP+ 2023 දක්වා – යුරෝපා සංගමය

GSP+ බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග සහ යුරෝපා සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදි එම කොමිසමේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළද හා සන්නිවේදන ප්‍රධානී ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඩ් (Thorsten bargfarde) මහතා සදහන් කළේ 2023 දක්වා එම බදු සහනය ලබා දීමට තීරණය කළ ද ඊට අදාල නිරික්ෂණ ක්‍රියාවලියේ වෙනසක් සිදු නොවන බවයි.
වෙළඳ වරණයන් පිළිබද පොදු ක්‍රමය හෙවත් GSP, යුරෝපා සංගමය වෙත අපනයන සිදු කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට පිරිනැමෙන බදු සහනයකි. GSP+ යනු GSP සහනය ලබන සංවර්ධනය වෙමින් පවතින රටවලටම ලැබෙන අතිරේක උපාංගයකි.
යුරෝපා සංගම් නියෝජිතයන් සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවේ දි හෙළි වූයේ GSP+ බදු සහනය වැඩි වශයෙන් හිමි වන්නේ මෙරට ඇගළුම් ක්ෂේත්‍රයට බවයි. ඇගළුම් අපනයනයෙන් 60%ක්ම අපනයනය කෙරෙන්නේ යුරෝපා සංගම් රටවලට බව ද පැමිණි නියෝජිතයින් මෙහි දී පෙන්වා දුන්නේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ ඇගළුම් කර්මාන්තය මෙරට සමස්ත අපනයනයෙන් 43%ක් පමණ නියෝජනය කරන බවයි. අපනයන ආදායමට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක් පමණ එක් කරනු ලබන ප්‍රධානතම නිෂ්පාදන කර්මාන්තයද ඇගළුම් කර්මාන්තය බව පෙන්වා දුන් ඇමතිවරයා යුරෝපා සංගමයේ රටවල් ඒ සදහා දක්වන සහයෝගය පිළිබද ව රජයේ ස්තූතිය පළ කරන බව ද පැවසීය.
යුරෝපා සංගමයේ රටවල ආයෝජකයින් මෙරට ආයෝජනය සදහා කැමැත්තෙන් සිටින බව යුරෝපා සංගම් උප සභාපතිවරයා කීවේය. යුරෝපා සංගම් රටවල් වලට ශ්‍රී ලංකන් ගුවන් සේවා නැවත ආරම්භ කරන ලෙස ද ඔහු ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ දැනටමත් ඒ පිළිබද ව අවධානය යොමුව ඇති බවයි.
මෙම සාකච්ඡාවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මරීනා මොහොමඩ් යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.