උඩරට නැටුමට පණ දෙන ගාන්ධර්ව යාමය

 උඩරට නැටුමට පණ දෙන ගාන්ධර්ව යාමය

සඳුට රාත්‍රි අහසේ අයිතිය ලබා දෙමින් හිරු බැස යමින් තිබේ.සීත සමඟ පැතිර යන අඳුර පහ කරන්නට තරම් සඳුට ශක්තියක් නැත්තේය. අහස සිඹින තුරු හිස් සිප ගනිමින් පතිත වන සඳ රැස් පරයා පන්දම් එළි වලින් නිකුත් වන ආලෝකය රංග භූමිය පුරා පැතිර යමින් තිබේ. සුවඳ දුම් අල්ලා දෙවියන්ට ආරධනා කරනුයේ තවත් මොහොතකින් එළඹෙන්නාවූ උඩරට සාම්ප්‍රදායික නර්තන හා වාදන කලාවේ අගතැන් ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ හැකියාවන් දෑසින් දකින්නටය. ජීවිතයේ සැදෑ සමයට එළඹ සිටින ඔවුහු කාලයක් පුරා නර්තනයේ හා වාදනයේ නොයෙදුනෝය. ඒ නොයෙකුත් රෝග විසින් ශරීර සෞඛ්‍යය බිඳ දැමීමත් වයස විසින් දෙපා වාරුව හීන කර දැමීමත් නිසාය. උඩරට සම්ප්‍රදායික වාදන හා නර්තන කලාවේ වත්මන් ජීවමාන සලකුණු ලෙස පිළි ගැනෙන මේ පිරිස එකම බිමක රැඟුම් හා වැයුම් දැක්වීම දැකුමට දෑස් පින් කළ යුතුය. දේශිය නර්තන හා වාදන කලාව ඔවුන්ගේ ශරීර තුළට ජීර්ණ වී තිබෙන්නේය. එළිමහන් රඟ බිමේ සිදුවනදේ දෘෂ්‍යමාන නොවන අයෙකු බෙර හඬේ තියුණු බව ශ්‍රවනය කළහොත් එය වයන්නේ වැහැරුණු දෙඅත් වලින් යැයි කිසි විටෙකත් නොසිතන්නේය.  ඒ තරමටම තාල සුරකින ඒ හඬ කන්කළුය. හිස වෙස් බැඳ බෙර හඬේ තාලයට පාද තබන ඔවුන්ගේ නර්තන ලාලිත්‍යයට ලංවීමට මිහිපිට තවත් අය නොමැති යැයි සිතින්නේ එය ඒ තරම්ම නෙත් කළු බැවිනි.

අමනුෂ්‍ය දෝෂයකට ලක්වූ පඬුවස් දෙව් රජුට ශාන්තිකර්මයක් කිරීමට මලය රට සිට රජ තුන් කට්ටුවක් පැමිණි බවත් ඒ  ඔස්සේ මෙරටට.ගැයුම්,වැයුම් හා නැටුම් එක්ව සිදුකළ ශාන්ති කර්ම කලාව (කොහොඹා කංකාරිය) හිමිවූ බවත් ඉතිහාස කතාවල සඳහන්ය.රජුගේ අමුනුෂ්‍ය දෝෂය තුරන්ව ගොස් සුවය ලැබීමෙන් පසු මලය රජුගේ සර්ව අභරණ වලින් අඩකින් සමන්විතවූ වෙස් ඇඳුම් කට්ටලය ඇඟලා සිදු කරන වෙස් නර්තන කලාව ශ්‍රීලංකාවේ තෝරාගත් ජන කොටසකට දායද කළ බව ජනප්‍රවාදයේ පැවත එයි. අමුණුගම, තිත්තපජ්ජල, නිත්තවෙල, තල්ගහගොඩ, හපුගොඩ, මාලගම්මන, ඉහළවෙළ, මොලගොඩ, යකාවෙල, උඩුවෙල, වේගිරිය, මාමුඩාවෙල ආදි වශයෙන් කලා පරම්පරාවන් ගණනාවක් ගොඩ නැගී තිබේ. රජවරුන් ගෙන් ලද නොයෙක් වරප්‍රසාද හමුවේ බලි, තොවිල්, ශාන්ති කර්ම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ තම දැනුම විහිදුවා ගනිමින් පරම්පරාවෙන් පරම්පරාවට නැටුම්, ගැයුම් හා වැයුම් පවත්වා ගෙන ඒමට උඩරට පාරම්පරික කලාකරුවෝ කටයුතු කළහ. හෙළ කලා කෙත පෝෂණය කළාවූ එම සාම්ප්‍රදායික කලා පරපුර නියෝජනය කළ බොහෝ දෙනෙකුට දෙනෙත් පියා ගැනීමට සිදුවූයේ මහ දුක් ගින්දරක් සිතේ තුරුළු කර ගෙනය.කලාකරුවන් ලෙස රටක් පිනවන්නට වාසනාවන්ත වුවද උඩරට සම්ප්‍රදායික නර්තන කලාවේ පරිහානිය තමන්ගේම දෑස් වලින් දකින්නට තරම් ඔවුහූ එක් පැත්තකින් අවාසනාවන්ත වූහ. නිත්තවෙල ගුණයා, අමුණුගම සුරඹා, හීන් බබා ධර්මසිරි, තිත්තපජ්ජල සුරඹා, ශ්‍රී ජයනා, ඥානදාස රාජපක්ෂ ඒ අතරින් කිහිප දෙනෙකි.

මේ ශ්‍රේෂ්ඨයින් ගෙන් පසු ඔවුන්ගේ තැන ගත් හපුගොඩ ධර්මසිරි, පීටර් සූරසේන, මංතොස බණ්ඩාර තෙන්නකෝන්, උපනන්ද තල්ගහගොඩ, වෛද්‍යවතී රාජපක්ෂ, ආරියදාස ඉහළවෙල, ඕ.පී කරුණාදාස, මුද්දනාවේ සුනිල්, අයි.ජී සිරිසෝම, ලැහැඹේ සිරිපාල, පීල්ලදෙණියේ විමලසිරි, පී.ජෝතිරත්න, මාමුඩාවෙල ඩයස් සමරනායක, රත්තොට සිරිසේන යන සියල්ලෝ අදවන විට පසු වන්නේ ජීවන මඟේ හැත්තෑවන වියට ආසන්නව හෝ එම කඩ ඉම පසු කරය. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හැඩ කරන්නට අඩසියවසකට වඩා වැඩි කාලයක් සිය දායකත්වය ලබා දුන් ඔවුන් දැන් නිවෙස් වලට වී හුදකලාව ජීවත් වෙති. ගතේ ශක්තිය උදුරා ගන්නට වයසට හැකිව තිබුණත් ඔවුන්ගේ හිතේ හයිය උදුරා ගැනීමට කිසිවකුටත් නොහැකිවී තිබේ.

මහනුවර අරුප්පොල පිහිටි පීටර් සූරසේන එළිමහන් රංග පීඨයේදී සෑම මසකම අවසන් ශනි දින උඩරට සාම්ප්‍රදායික නර්තන කලාව පෝෂණය කරන්නට දිවි හිමියෙන් කැපවූ මේ කලාවරුන් රැඟුම්, ගැයුම් හා වැයුම් දක්වති. කාලයක් පුරා කරළියෙන් ඈත්ව සිටීමෙන් ලද වේදනා සියල්ල දූරීම්භූත කරමින්  ඔවුහූ සිය කුසලතා දක්වන්නේ සුසන්ත සූරසේන කලාකරුවා අදහසකට අනුව නිර්මාණයවූ ගාන්ධර්ව යාමයට පින්සිදු වන්නටය.

සුසන්ක සූරසේන කලාකරුවා

මේ පාරම්පරික කලා ශිල්ප මේ දක්වා පවත්වා ගෙන එන්නට උරදුන් කලාකරුවන් අතරින් අද ජීවත්ව සිටින්නේ විසි දෙනකුටත් අඩු පිරිසක්. මේ අය ගැන වගකිව යුතු අංශ වල කිසිම අවධානයක් යොමු වෙලා නැහැ. ජීවිතයම කලාව කරගත් වයෝවෘද්ධ කලාකරුවන් කවුරුවත්ම සල්ලි පස්සේ ගිය අය නොවෙයි. ඒ අය සුදුසු නැත්නම් තමන්ගේ දරුවාටවත් ශිල්පය ලබා දුන්නේ නැහැ. ඒ තරමට ඔවුන් කලාවට ආදරෙයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ රැඟුම් දක්වමින් මහනුවර ඇසළ පෙරහරේ ගමන් කළ වයෝවෘද්ධ කලාකරුවෝ කාගේවත් ඇගයීමට ලක් නොවී නිවෙස් තුළම දෙනෙත් පියා ගන්නවා. මේ නිසා තමයි මම මේ ගාන්ධර්ව යාමය ආරම්භ කළේ. පාරම්පරික කලා පරපුරවල් නියෝජනය කරමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශිල්පීන් මාසයකට වතාවක් අගයමින් ඔවුන්ට මූල්‍ය අනුග්‍රහයක් ලබා දෙනවා.

ජපන් ජාතික ඩයිසුකේ හයාෂි මහතා ඒ සඳහා අපට විශාල සහයෝගයක් ලබා දෙනවා. අපේ රටේ අයට වඩා ජපන් ජාතිකයින් තුළ දේශීය කලාව කෙරෙහි ඇල්මක් භක්තියක් තිබෙනවා.

ජපන් ජාතික ඩයිසුකේ හයාෂි

ඒ නිසා තමයි ඔවුන් අපව මේ වගේ වැඩ කටයුතු වලට දිරිමත් කරන්නේ. ශිල්පීන් වයසට ගියාට එයාලගේ ඇඟේ තියෙන කලාව වයසට යන්නේ නැහැ. ඒක තව තවත් ඔපවත් වෙන්නේ වයසත් එක්කයි.මගේ තාත්තා පීටර් සූරසේන ඒකට හොඳම උදාහරණයක්. කොහොඹා කංකාරියට ලංකාවේම ප්‍රසිද්ධ හපුගොඩ අත්තාට දැන් අවුරුදු 88 ක්. එතුමා නර්ථනයෙන් ඈත් වෙලා හිටියත් දැන් වුණත් හොඳට නටන්න පුළුවන්. ලෝකයේ වෙනත් රටවල මේ වගේ කලාකරුවන් සලකන්නේ ජාතික වස්තූන් විදිහටයි. අවාසනාවකට අපේ රටේ ඒ පිළිගැනීම මේ අයට ලැබෙන්නේ නැහැ. අපේ රටේ අන්‍යන්‍යතාව උඩරට වෙස් නැටුමයි. වෙස් නැටුමක් නැතුව රාජ්‍යය උත්සවයක් පවත්වනවා දැකලා තියෙනවද? ජාත්‍යන්තර නායකයෝ රටට ආවාම වෙස් නැටුම් නටලා තමයි ඒ අයව පිළිගන්නේ. වැඩේ කර ගත්තට පස්සේ අපේ කලාකරුවෝ එන්න ඕන වෙස් පෙට්ටිය අරන් බස් වල. ඕක තමයි ලංකාවේ කලාවේ තත්ත්වය. දේශීය කලාව පෝෂණය කළ හෙළ සංස්කෘතිය ලෝකයට ගෙනගිය කලාකරුවන් උන්නද මලාද කියලා බලන්න කෙනෙක් නැහැ. වයසට ගිය දේශපාලනඥයින්ට මොන තරම් පිළිගැනීමක් කරනවාද.?. නිත්තවෙල ගුණයා ලෝක ප්‍රසිද්ධ කලාකරුවෙක්. ඔහු ගැන හදාරන්න විදේශිකයෝ ලංකාවට එනවා. එතුමාගේ සිහිවටනයක් වත් අඩු තරමේ ඔහු ජීවත්වූ මහනුවරවත් නැහැ. ගාන්ධර්ව යාමයේ නිර්මාතෘ සුසන්ත සූරසේන මහතා පවසයි.

වෛද්‍යවතී රාජපක්ෂ කලාකාරිනිය

ගාන්ධර්ව යාමයේ හත්වන සුයාමයේ ප්‍රධානත්වය හිමිව තිබුණේ යකාවෙල පරපුරේ තම්මැට්ටම් ශිල්පී පිල්ලදෙණියේ විමලසිරි හා උඩුවෙල පරම්පාරවේ හේවිසි ශිල්පි ජෝති රත්න කලාකරුවන්ටය. එම පරම්පරාවන්ගේ වත්මනේ ජීවත් වන ප්‍රවීණතම ශිල්පීන් දෙදෙනා ඔවුන්ය. තමන්ගේ සමකාලීනයන් ඉදිරියේ ඔවුන් පෙරදා මෙන්ම ශිල්ප දක්වත්දී වාඩිගෙන සිටින සෑම ශිල්පියෙකුම පාද හා අත් වලින් තාල අල්ලන අයුරු අපූරුය. බත් පතේ ඇති කරපිංචා ගානට වැටුණු කලාකරුවන් මේ සිදු කරමින් සිටින්නේ ඔවුනොවුන්ම එකතුවී තම රැහේ උන්ගේ සිත් සතුටු කිරීමය. සමාජ පිළිගැනීමක් නොමැති වීම,වෘත්තිය මට්ටමින් කලාව කරගෙන යෑමට අසීරු වීම ඇතුළු කාරනා හේතුවෙන් අද වනවට පාරම්පරික කලා ශිල්පීන්ගේ දූ දරුවන් බොහෝ දෙනෙකු එම කලාවන් ගෙන් ඈත්ව ගොස් සිටිති. මේ නිසාම ඇතැම් පාරම්පරික කලපරපුරු පවතින්නේ අභාවයට යමින් යැයි පැවසීම වරදක් නොවන්නේය.

මගේ මුත්තා යක්ෂයෙකුට බෙර වාදනය කරලා තිබෙනවා. ඒ වාදනයට සතුටු වුන යකා මුත්තාට කුඹුරක් පරිත්‍යාක කළා. ඒකට යකාවෙල කියලා කියන්නේ.මේ විදිහට තමයි අපේ යකාවෙල පරම්පරාව ආරම්භ වුනේ. විෂ්ණු දේවාලයේ තමයි මම රාජකාරී කරන්නේ. දැන් මම පෙරහරේ අවුරුදු 40 ක් විතර ගමන් කරනවා. අපි ඉස්සර කිලෝ මීටර විස්සක් තිහක් පෙරහරට පයින් එනවා. මස් මාළු කන්නේ නැතුව අදත් පේවෙලා තමයි පෙරහරට එන්නේ.  පරම්පරාවෙන් අපට උරුම වෙලා තියෙන මේ ශ්‍රේෂ්ඨ කලාව අපෙන් පස්සේ නැතිවෙලා යයි කියන බය මට තියෙනවා. මොකද මේ කලාවන් ආරක්ෂා කරන්න පාලකයින්ට කිසිම වැඩපිළිවෙළක් නැහැ. මට තාමත් දෙපයින් ඇවිදින්න පුළුවන් නිසා මම පෙරහරට සම්බන්ධ වෙනවා. එහෙම බැරිවෙලා ගෙදර නතර වෙන්න වුනොත් ඉතින් අපිව බලන්න එන්න කවුරුවත් නැහැ. මේ කලාව දිවි හිමියෙන් රැක ගත්ත පාරම්පරික ශිල්පීන් කී දෙනෙක් මහ දුක් ගින්දරක් හිතේ දරාගෙන මියගොස් තිබෙනවාද?.. පීල්ලදෙණියේ විමලසිරි කලාකරුවා පවසයි.

පාරම්පරික දවුල් වාදන ශිල්පි ටී.ජී ජෝති රත්න ශිල්පියා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. දඹදෙනි රාජධානි සමයේ දෙවන පැරකුම් රජතුමාගේ කාලයේ බෙලිගල රජමහ විහාරයේ තමයි දළදා වහන්සේ වැඩ සිටියේ. අපේ මී මුත්තා තමයි දළදා වහන්සේට තේවාව කළේ. වාද විරුදු මහමේලාංකෘති ඒරංගම් පටාකාර කියන වාසගම රජතුමා ආපේ මීමුත්තට ලබා දී තිබුණා. ඒ පරම්පරාවෙන් තමයි අපි පැවත එන්නේ. පී.ජී රංකිරා ගුරුතුමා ගෙන් තමයි මගේ පියතුමා ඉගෙන ගත්තේ. දැන් මගේ දරුවොත් මේකට යොමු වෙලා ඉන්න එක ගැන මම සතුටුයි.මම කලායතනයක් කරනවා. සංස්කෘතික දෙපාර්තුමේන්තුවෙන් මේ කලායතන වලට එවන විෂය මාලා බැලුවම පුදුම කලකිරීමක් ඇති වෙනවා. මේවගේ තියෙන යෝජනා බොහොමයක් සංස්කෘතිය පරිහානියට පත්වන කරුණු.නව නිර්මාණ ඉදිරිපත් කරන්න කියලා කියනවා. තජ්ජිත් තොන්නම් කියන හතරෙන් උපන් ශිල්පයට නව නිර්මාණ කරන්න පුළුවන්ද? නර්තන ඉතිහාසය කල්පොත්පත්තිය දක්වා යනවා. මඟ මානවක ජාතකයේ නර්තන ඉතිහාසය දැක්වෙනවා.මග මානවක කුමාරයා තමයි ශ්‍රක දෙව් රාජයණන් වෙලා උපන්නේ. එදා සක්‍ර දෙවියන්ට දිව්‍ය රාජ සම්පතිය ලැබුණු සතුටට දිව්‍ය පුත්‍රයෝ කිව්වා පංච ශිඛ දිව්‍ය පුත්‍රයාට නර්තන පූජාවක් කරන්න කියලා. සුදම් දෙව් සභාවේදී තමයි එදා පළමුවෙන්ම මේ නර්තනය සමඟ දවුල්,තම්මැට්ටම්,හොරණෑ,උඩැක්කි,ගැටබෙර,පනාබෙර කියන බෙර වර්ග 64 ක් වාදනය කළා. ඒ ඍෂිවරු හදපු දේවල් නව නිර්මාණ බවට පෙරලන්න බැහැ.මම අවුරුදු 60 දැන් පෙරහරේ යනවා. කලාව රැක ගන්නවා කියන එක හරිම අසීරු දෙයක්.

එක් ඍෂිවරයෙක් කියලා තියෙනවා ගවයෙකුගේ හමේ ලොම් ගානට ශිෂ්‍යයෝ හදන්න පුළුවන් ඒත් හරියන්නේ අන් දෙක ගානට කියලා. ශිෂ්‍යයෝ හදන්න පුළුවන්. ස්වර්ණ අංකුර ලෙස ශිල්පය පිහිටන්නේ බොහොම අතලොස්සකටයි.

රාජ්‍යය අනුග්‍රහය මේකට ලැබෙන්න ඕන.දැන් බලන්න කලායතනයකට වසරකටම ලැබෙන්නේ රුපියල් 4500.00 යි.දවුල් 14 ක් තම්මැට්ම් 04ක් ගැටබෙර 02 ක් තියෙනවා.දවුල් තට්ටුවක් රුපියල් 1200.00 ක් වෙනවා.දවුල් 14 කට තට්ටු ගන්නම කීයක් වියදම් කරනවාද. මගේ පියතුමා මට කිව්වේ මම උගන්නපු ශිල්පය උඹෙන් පස්සේ ඉස්සරහට යන්න ඕන කියලයි. ඒ නිසා මම තාමත් මේක කරගෙන යනවා.

උඩරට නර්තනය ඉතිහාසය අධ්‍යයන කිරීමේදී ඒ තුළ රෝග සුව කිරීමේ අපූරු හැකියාවක් තිබෙන බව පැහැදිලියි. බලි, ශාන්ති කර්ම ආදිය අදටත් නොනැසී පවතින්නේ මේ පාරම්පරික ශිල්පීන් නිසයි. අපේ රටේ පාරම්පරික දැනුම ඇති ශිල්පීන්ට මහත්වූ ගෞරවකින් සලකනවා. ශ්‍රීලංකාව තුළත් එවැනි වැඩපිළිවළෙක් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයැයි පවසන්නේ ගාන්ධර්ව යාමයේ බරපැන හොබවන ජපන් ජාතික ඩයිසුකේ හයාෂි මහතා පවසයි.

උඩරට පාරම්පරික කලා පරපුරු වලට අයත් සම්ප්‍රදායික දැනුම ගබඩා වී තිබෙන්නේ මේ වයෝවෘද්ධ කලාකරුවන් තුළය. ඔවුන්ගේ මරණයත් සමඟ වැලලී යන්නේ හුදු මිනිසු සිරුරක් නොව දැනුම් ගබඩාවක්ය. ඒ ආකාරයෙන් පාරම්පරික දැනුම සමඟ පොළවට පස්ව ගිය පාරම්පරික ශිල්පීන් බොහෝමයකි. ඔවුන්ගේ දැනුම තබා ඡායාරූපයක් හෝ සොයා ගැනීමට නොහැකි වීම අභාග්‍යයකි. කලා ශිල්පීන් හෝ මුල්වී නැතිවී යන සම්ප්‍රදායික උඩරට නර්තන කලාවට යළි මේ ආකාරයෙන් ජීවය පිඹින්නට එක්වීම අගය කළ යුතුය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *