ගොවීනුත් කාබනික පොහොර නිපදවිය යුතුයි – අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) ජයන්තා ඉලංකොන්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිර්දේශ කර තිබෙන ප්‍රමිතියට අනුකූලව කාබනික පොහොර මෙරට නිෂ්පාදනය කිරීම සඳහා ගොවීන් මෙහෙයවමින් එළඹෙන මහ කන්නයේදී ක්ෂේත්‍ර වලට අවශ්‍යය පොහොර වලින් කොටසක් වගා භූමිය තුළම නිෂ්පාදනය කරන තත්ත්වයට ගොවීන් ගෙන ඒමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව බලාපොරොත්තු වන බව මහත්මිය පවසයි.

ඒ සඳහා අවශ්‍යය පුහුණුව ඇතුළු පහසුකම් සියල්ල කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් ලබාදෙන බවත් ආදළ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම මගින් රජය පලාපොරොත්තු වන වගා ඉලක්ක සපුරා ගත හැකිවනු ඇති බවත් ඇය කීවාය.

මහනුවර ගන්නෝරුවේදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකා‍ශයක් කරමින් වැඩි දුරටත් අදහස් දැක්වූ ඉලංකෝන් මහත්මිය මෙසේද පැවසුවාය.

මේවන විට විශේෂයෙන්ම කාබනික වගාවට යොමුවීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.එළඹෙන මහ කන්නයේදී ආහාර බෝග වගා කටයුතු සිදු කිරීමේදී විශේෂයෙන්ම සිදුවෙනවා කාබනික පොහොර භාවිත කර එම කටයුතු සිදු කරන්න.මේ සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවෙත් පළාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තු වලත් ශ්‍රී ලංකා මහවැලි අධිකරියේත් තාක්ෂණික නිලධාරීන් දැනුම්වත් කරලා තියෙනවා.නව තාක්ෂණය සම්බන්ධව තව දුරටත් මේ නිලධාරීන් දැනුම්වත් කිරීමේ කටයුතු සූම් තාක්ෂණය ඔස්සේ සිදු කරමින් සිටිනවා.කාබනික පොහොර කඩිනම් ආකාරයට නිෂ්පාදනය කර ගැනීම සම්බන්ධව විශේෂයෙන්ම දැනුවත් කරනවා.සෑම දිස්ත්‍රික්කයකටම පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම පිණිස  නිලධාරීන් පත්කර තිබෙනවා.නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති) නිලධාරී මහතාට අමතරව තවත් නිලධාරි මහත්මයෙක් අපි පත් කරනවා මේ කටයුත්ත දිස්ත්‍රික්කය තුළ සිදුවන ආකාරය අධීක්ෂණය කිරීමට.ගොවිජන සේවා දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා වෙනත් ආයතන නිලධාරීන් මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයින් පුහුණු කිරීමටත් අවශ්‍යය සහය ලබාදීමට වැඩසටහන් ක්‍රියාත්මකයි.

මාකඳුර තිරසාර කෘෂිකර්ම හා පර්යේෂණ සංවර්ධන ආයතනය මේ වෙනුවෙන්ම පුහුණු වැඩසටහන් කරනවා.එම ස්ථානයේ ප්‍රායෝගික පුහුණුවත් ලබා දෙනවා.කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව යටතේ තිබෙන මෙම ස්ථානයේ තවත් සුවිශේෂි වැඩසටහන් ක්‍රියාත්මකයි.යම් අයෙකුට කාබනික පොහොර නිෂ්පාදන දැනුම අවශ්‍යය නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්.මේ දිනවල කොවිඩ් නිසා සූම් තාක්ෂණය භාවිතයෙන් කරනවා.දෙපාර්තුමේන්තුව ඕනෑම අයෙකුට දැනුම ලබා දෙන්න සූදානම්.කාබනික වගා කටයුතු සඳහා අවශ්‍යය කොම්පෝස්ට්,දියර පොහොර,කොළ පොහොර මෙන්ම ශාඛ පෝෂක වර්ග දේශීයව අපේම අමුද්‍රව්‍ය භාවිත කරලා නිෂ්පාදනය කරන්නේ.අපිම විශ්වාසයෙන් හදා ගත්ත දෙයක් නිසා නිෂ්පාදනය පිළිබඳ විශ්වාසය තිබිය හැකිය.වගා භූමියට දාන්නේ අපිම නිෂ්පාදනය කරගත් පොහොරක්  නිසා ගොවීන් කිසිදු අයුරකින් බිය විය යුතු නැහැ. මම හිතනවා මේක ඉතා වැදගත් වැඩසටහනක්.පසට කාබනික පොහොර යෙදීමෙන් පසේ තත්ත්වය දියුණු වෙනවා.ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය ඉහළ යනවා.ශාඛ වලට අවශ්‍යය පෝෂක ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ක්ෂේත්‍රයේ කඩිනමින් මේක ක්‍රියාත්මක කරන්න.

ඉදිරි මහ කන්නයේදී තමන්ගේ ක්ෂේත්‍ර වලට අවශ්‍යය කාබනික පොහොර ප්‍රමාණයෙන් යම් කොටසක් හෝ ගොවි බිම් වල සකස්කර ගත්තොත් අපිට පුළුවන් වගා ඉලක්ක සපුරා ගැනීමට.කාබනික පොහොර නිෂ්පාදනය සඳහා පුහුණු කිරීමේදී අපි ප්‍රමිතිය පිළිබඳව විශේෂ අවධානය යොමු කරනවා.මේ අවස්ථාවේ අපි දන්නවා මධ්‍යම පරිමාණ නිෂ්පාදකයෝ විශාල පිරිසක් එකතු වී ඉන්නවා.ඔවුන් සඳහා මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.අවශ්‍යය කෙනෙකුට ඉදිරියේදීත් ඒ පුහුණුව ලබා ගන්න පුළුවන්.ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කාබනික පොහොර සඳහා ප්‍රමිතියක් ලබා දී තිබෙනවා.ඒකට අනුගතව තමයි නිෂ්පාදන සකස් කර ගන්න ඕන.ගුණාත්මක නිෂ්පාදන ප්‍රමිතිය තියාගෙන රටේ අවශ්‍යය කාබනික පොහොර රටේම නිපදවා ගැනීම තමයි අපේ අරමුණ. 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *