මහවැලියේ පටුම තැනත්- පළලම තැනත් පිහිටි සංවේදී පාරිසරික කලාපය ‘හක්කිඳ’ වැනසීම නවතනු!

  • -දූපත් 20 ක්, ලොකුම දූපත අක්කර 12ක්
  • -ජෛව විවිධත්වයෙන් අනූන කලාපයක්, ආවේණික බත්කූරන් 8ක්
  • – රතු දත්ත පොතට ගිය ‘කොළගඩයා‘ මත්‍ස්‍යයාගේ එකම කෙම්බිම

අසේල කුරුලුවංශ

(මෙම ලිපිය සිළුමිණ පුවත්පතෙහි පළ වූවක් බව කෘතවේදීව සඳහන් කරමු – සංස්කාරක) 

කිලෝමීටර් 335 ක් දිග මහවැලි ගඟ ආශ්‍රිතව ‘පාරිසරික ආරක්ෂිත කලාපයක්‘ ලෙස ගැසට් කර ඇති සුවිශේෂී පාරිසරික හා ඓතිහාසික බිම්කඩක් වන හක්කිඳ දූපත් සමූහය ආශ්‍රිත කලාපය, බරපතල විනාශයකට ගොදුරු වී තිබේ. එය වැළැක්වීම සඳහා මැදිහත් වීම, මොහොතක් හෝ කල් නොදැමිය යුතු ජාතික වගකීමකි.

ගල්පර වල හැපී ඒවායේ ඇති කුහර තුළට වදින දියරැලි යළි මතුපිටට එන්නේ හක් ගෙඩියකින් නික්මෙන හඬට නොදෙවෙනි හඬක් මතුකරමිනි. මොහොතක් හෝ ගිමන් නොහැර පහළට ඇදෙන දියරැලි ගල්පර සිපගනිත්දී අහසට ඉගිලෙන පිනිබිඳු සුළං අතට පාවී ඇවිත් සිරුරේ දැවටෙන විට  දැනෙන්නේ අමුතුම සීතලකි. මෙතෙක් වේලා එක පොදියට පැමිණි ජලකඳ හිටිගමන් ගසක අතු විසිරී යන්නා සේ බෙදී යයි. ඇස් මානයේ ඇති විසල් දූපත් වටා ගමන් ගන්නා එම ජල පහරවල්  දූපත් සීමාව අවසන් වූ සැණින් එකිනෙකා වැළඳ ගන්නේ යළි මහා ජල කඳක් බවට පත් වෙමිනි. 

මහවැලි ගංගාවේ පටුම ස්ථානය

අසිරිමත් දසුන් මවන සොබාදහමේ මේ අපූරු නිමැවුම මහවැලි නදියේ පටුම ස්ථානයයි. වැසි නොවැටෙන කාලයේදී ගලින් ගලට පැන ගඟ තරණය කළ හැකි තරමට ඒ මඟ පටුය. මීටර තුනක පමණ පළලින් යුත් එම කොටසේ සිට තවත් අඩ සැතපුමක් පහළට පැමිණි කළ හමුවන්නේ මහවැලි ගඟේ පළලම ස්ථානයයි.එය කිලෝමීටර 1.2 ක්  දිගය.ගන්නෝරුව වරාතැන්න ‘හක්කිඳ දූපත් සමූහය’ (Hakkida Island Complex) ආශ්‍රිත හෙක්ටයාර් 59.4 කින් යුත් මෙම භූමි ප්‍රදේශය පාරිසරික ආරක්ෂක කලාපයකි. (Environmental Protection Area). සමනල අඩවියෙන් උපත ලැබ  ත්‍රිකුණාමලයෙන් මහ මුහුද සිපගන්නා මහවැලි නදියේ කිලෝ මීටර 335ක ගමන් මගේදී එලෙස පාරිසරික ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබෙන එකම ස්ථානය මෙයයි. ඒ සඳහා හේතු වූ සුවිශේෂිතා බොහොමයකින් හක්කිඳ දූපත් සමූහය ආශ්‍රිත ප්‍රදේශය පෝෂිතය. 

දූපත්වල ජෛව විවිධත්වය

මහවැලි ගංඟාවේ වැඩිම දූපත් සංඛ්‍යාවක් හමුවන්නේ මේ ස්ථානයේය. එය සංඛ්‍යාත්මකව 20 කි. විශාලතම දූපත අක්කර 12ක පමණ වපරිසයකින්  යුක්තය. මෙහි  ක්ෂිරපායි සත්ත්ව විශේෂ 23ක්ද පක්ෂි විශේෂ 77 ක්ද උරග විශේෂ 17ක්ද ගොළු බෙලි විශේෂ 17ක්ද ජීවත් වන බව පර්යේෂණාත්මක තහවුරු කර තිබේ. ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) හක්කිඳ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ පර්යේෂණයක් මගින්  මත්ස්‍ය විශේෂ 18 ක් මෙහි ජීවත්වන බව සොයාගෙන ඇත. ඒ් අතරින් ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍යය විශේෂයක් වන  කොළ ගඩයා (Green Labeo-Labeo fisheri) දැකිය හැකි වන්නේ මෙම ස්ථානයේදී පමණි. දැඩි ලෙස අන්තරායකර තත්ත්වයකට ලක්ව සිටීම හේතුවෙන්  මෙම මත්ස්‍යය විශේෂය 2007 වසරේදී රතු දත්ත පොතට ඇතුළත් කර තිබේ.ලේල්ලා, ගංආරා වැනි කඳුකරයට ආව්ණික මත්ස්‍යයින්ද කඳු අභිරාවා, ගල්පාඩියා, දංකොළ පෙතියා, තලකොස්සා වැනි ශ්‍රී ලංකාවට ආවේණික මසුන්ද මෙහි වාසය කරන බව නාරා ආයතනය පවසයි. බත්කූරු විශේෂ 16ක් මෙහි ජීවත්වන අතර ඉන් විශේෂ 08 ක්ම මෙරටට ආවේණිකය.තර්ජනයට ලක්ව තිබෙන අති උඩයන් පැලෑටි විශේෂ පහක් (cryphcoryne sp) මෙහි දක්නට ලැබේ. ශ්‍රී ලංකාවට ආවේනික සහ තර්ජනයට ලක්වූ සතුන් විශේෂ වන කොළ දිවියා,හඳුන් දිවියා යන බළල් පවුලේ සාමාජිකයින්ගේ මෙය වාස භූමියකි.අළු කෑදැත්තා,මයිල ගොයා,රන් නළල් කොට්ටෝරුවා,ගිරි මලිත්තා වැනි මෙරටට ආවේනික පක්ෂි විශේෂද මෙම දූපත් ආශ්‍රිතව දැක ගැනීමට පුළුවන.පිනුම් කටුස්සා,ගැටහොඹු කටුස්සා,ශ්‍රී ලංකා මුදු කරවලා,පළා පොළගා වැනි ශ්‍රී ලංකාවට ආවේණික උරගයින්ද කහඉරි දණ්ඩා ඇතුළු උභය ජීවි විශේෂද මෙහි ජීවත් වෙති.

ජෛව විවිධත්වයෙන් අනූන මෙම තෙත් බිම් ප්‍රදේශය පරිසර ආරක්ෂක කලාපයක් ලෙස නම් කර ගැනීම සඳහා කැප වූ ප්‍රධාන පුද්ගලයින් කිහිප දෙනාගෙන් කෙනෙකු වන වනජීවි පර්යේෂක ප්‍රදීප් සමරවික්‍රම මහතා මෙහි ඇති සුවිශේෂිතා පිළිබඳව මෙසේ විස්තර කළේය. 

‘‘මේ භූමිය ජෛව විද්‍යාත්මකව මෙන්ම  ‌‌ඓතිහාසිකවද සුවිශේෂි එකක්. පෘතුගීසීන් පරාජයට පත්කළ 1638 මාර්තු 28 දින සිදුවූ ඓතිහාසික ගන්නෝරු සටනට පාදක වී තිබෙන්නේත් මේ ප්‍රදේශයයි. පෘතුගීසින් උඩරටට පැමිණෙත්දී  සෙංකඩගල  රජ කළ දෙවන රාජසිංහ රජු ඇතුළු හමුදාව මහවැලි ගඟ තරණය කර ගඟේ පටුම ස්ථානය ඔස්සේ ගන්නෝරුවට උපක්‍රමිකව පසු බැස්ස බව  ජනප්‍රවාදයේ කියවෙනවා.ජල දුර්ගය ඔස්සේ පෘතුගීසින් මහවැලි ගඟ තරණය කරත්දී ඔවුන්ගේ වෙඩි බෙහෙත් පෙගෙන්න හැර වනාන්තරය තුළ සිට අපේ හුමුදාව වට කරලා පහර දෙනවා.මේක තමයි ලංකා ඉතිහාසයේ ජයග්‍රාහීව අවසන් කළ විශිෂ්ටතම ගරිල්ලා සටනට පසුබිම් වූ ප්‍රදේශය. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැඩසිටි පන්සලද තිබෙන්නේ මේ ආසන්නයේමයි.

ප්‍රදීප් සමරවික්‍රම

මහනුවර පළමු දිසාපතිවරයා වූ බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් ටර්නර් මහතා විසින් 1831 නොවැම්බර් මස 09 දින විවෘත කරන ලද උමං දෙකක් සහිත සොරොව්වක්ද ඒ වෙනුවෙන් ඉදිවූ සමරු ඵලකයක්ද මෙම පරිසර කළාපයේ අදත් දක්නට ලැබෙනවා.පුරාවිද්‍යා වටිනාකමින් යුත් ස්ථානයක් ලෙස හඳුනාගෙන මෙය සංරක්ෂණය කළ යුතු ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද මේවන තෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නැහැ.පුද්ගලයෙකුට පහසුවෙන් ඇවිදයාමට හැකි තරම් විශාල මෙම උමං මාර්ග අතීතයේදී මහවැලි ගඟේ ජලය වෙනත් ස්ථාන වෙත ගෙන යෑමට භාවිත කරන්නට ඇතැයි අනුමාන කළ හැකියි. වසර 20 කට පමණ ඉහතදී මෙරටින් තුරන් වූ බවට අනුමාන කළ ශ්‍රී ලංකා කොළගඩයා මත්ස්‍ය විශේෂය ජීවීව නැවත මෙම ප්‍රදේශයේදී හඳුනා ගත්තා. ඒ සතුන්ගේ මෙතෙක් ලොව හමුවී ඇති විශාලම නිදර්ශක දෙක වාර්තා වුණේ මෙම ස්ථානයේදීයි. මේක කොළගඩයාගේ අභිජනන ප්‍රදේශයක්.”

 

විදුලි බලාගාර සැලසුම

හක්කිද දූපත් ආශ්‍රිත මෙම ජෛව විවිධත්වයෙන් අනූන අති සුන්දර ප්‍රදේශයේ කුඩා විදුලි බලාගාරක් ඉදි කිරීමේ සලසුමක් 2010 වසරේදී ක්‍රියාවට නැගිණි. ප්‍රදේශවාසීන්ගේ විරෝධයද නොතකමින් මහවැලි ගංඟාවේ ගල්වෙඩි දමා කළ පිපිරවීම් හේතුවෙන් දුර්ලභ මත්ස්‍ය විශේෂ සහ දූපත්වාසී සතුන් බොහොමයකට දිවි අහිමි වූහ. ඒ අතර මෙරටින් ඒ වන විටත් තුරන්ව ඇතැයි අනුමාන කළ ශ්‍රී ලංකා කොළගඩයා නැමැති මත්ස්‍යයාගේ නිදර්ශක දෙකක්ද වූහ. මෙම නිදර්ශක සම්බන්ධව අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකාවක්ද පළකර තිබේ. හක්කිද දූපත් ආශ්‍රිතව එම සත්ත්වයා ජීවත්ව සිටින බවට ඒ ඔස්සේ තහවුරු වීමෙන් පසු ප්‍රදීප් සමරවික්‍රම මහතා ඒ පිළිබඳව එවකට ජනපති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ මහතාව දැනුවත් කිරීමට පියවර ගත්තේය. නාරා ආයතනයේ මූලිකත්වයෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව පරීක්ෂණයක් සිදු කිරීමට අඩිතාලම වැටෙන්නේ ඒ ඔස්සේය. හක්කිඳ දූපත් ආශ්‍රිත ප්‍රදේශය අධි සංවේදී පරිසර කලාපයක් බවට නාරා ආයතනය වාර්තාවක් ඉදිරිපත් කිරීමත් සමඟ විදුලි බලාගාරය ඉදකිරීමේ වැඩපිළිවෙළ නතර කෙරිණි. මෙම ප්‍රදේශය හක්කිඳ පාරිසරික ආරක්ෂක කලාපයක් (Hakkida Environmental Protection Area ) ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 2017 ජූනි 17 දින නිකුත් කළ  2024/6 ගැසට් පත්‍රය මගිනි.

 ‘‘ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව මේ ප්‍රදේශය විනාශ වීමේ ශීඝ්‍රතාව ඉහළ ගියා. ඒකට ප්‍රධාන හේතුව හක්කිඳ ආරක්ෂා කරන්න බලය පැවරී තිබෙන රාජ්‍ය ආයතන රාජකාරිය පැහැර හැරීමයි. දූපත් අවට පරිසරයේ සුන්දරත්වය නිසාම මෙහි ඉඩම් පර්චසයක් රුපියල්  මිලියනයක පමණ මිලකට අළෙවි වෙනවා.දෙවනරාජසිංහ මාවතේ හා වම් ඉවුරේ පිහිටි රිවර් ප්ලේස් ගාර්ඩ්න් ප්‍රදේශයේ ඉඩම් හිමි පිරිස් තමන්ගේ නිවාස වලට පසුපසින් ඇති ගඟට අයිති කොටස පස් පුරවා ගොඩ කරනවා. පරිසර අධිකාරිය මේවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හක්කිඳ දූපත් ආශ්‍රිත ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළාට පසුව මේ ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා ගැසට් නිවේදනයට අනුව කළමනාකරණ කමිටුවක් පත්කළ යුතුයි. මේක සංරක්ෂණ කලාපයක් කරන්න යෝජනා කළේ අපියි. ඒ සියලු දේ වෙනුවෙන් කැපවුණු පිරිසර සංවිධානය මේ කමිටුවට ඇතුළත් කරන්න කියලා ජනපති නිර්දේශයක් පවා තිබුණත් පරිසර අධිකාරිය එය පැහැර හැර ව්‍යාජ නමකින් පෙනී සිටින සංවිධානයක් 2021 ඔක්තෝම්බර් මස පැවති අවසන් කමිටු රැස්වීමට ඇතුළත් කළා.ඒක කළෙත් කමිටුව පිහිටුවලා වසර හතරක් ගියාට පසුවයි. පරිසර අධිකාරිය තමන්ගේ වගකීම් ඉටු නොකර ඒ වගකීම පරිසර සංවිධාන වෙත පවරන්න හදනවා. හක්කිද විනාශ කරන අයට අපි නඩු දානකල් ඒ අය බලා ඉන්නවා. රක්ෂිත සීමාව ආක්‍රමණය කරමින් එහි ඇති කුඹුක් වැනි වටිනා ගස් කපා දැමීම් පිළිබඳ අපි පරිසර අධිකාරියට දැනුම් දුන්නත් ඔවුන් නිහඬයි…” ප්‍රදීප් සමරවික්‍රම පවසයි.

‘බලධාරීන් මුදලට යටයි’

වරාතැන්න ශ්‍රී විමලබුද්ධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ගඟවට කෝරළය උප ප්‍රධාන සංඝනායක වල්දෙණියේ සමිත හිමියෝ මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුවට අනුශාසකත්වය සපයති. සිදු වෙමින් පවතින විනාශය සම්බන්ධයේ බලධාරීන් සිය වගකීම පැහැරහැරීම සම්බන්ධයෙන් උන්වහන්සේ අදහස් පළ කළේ දැඩි කලකිරීමෙනි. 

වල්දෙණියේ සමිත හිමි

‘‘මේ පරිසරය රැක ගන්න අපි පුදුම වෙහෙසක් ගත්තා. එහි ප්‍රතිපලයක් ලෙස වරාතැන්න හක්කිද දූපත් ආශ්‍රිත ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස ගැසට් කළාම අපි හිතුවා මේක ආරක්ෂා වෙයි කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. අද මේ ගැසට් නිවේදනය නමට පමණක් සීමා වෙලා තිබෙනවා. මේ ආරක්ෂිත කලාපයේ ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම්වල මළ අපද්‍රව්‍ය යොමු කරන්නේ කෙළින්ම ගඟට. ගඟෙන් එගොඩ හෝටල්වල හිමිකරුවන්ගේ මුදල් බලයට නිලධාරීන් යටයි. බලාගෙන ඉද්දී ඒ ගොඩනැගිලි ගඟ දක්වා පුළුල් වෙනවා. මේ ප්‍රදේශයේ විදුලි බලාගාරයක් ඉදිකරන්න ගියා. පරිසර ඇමැතිවත් දන්නේ නැතුව, පරිසර ඇගයීම් වාර්තාවක් හෝ නැතුව ආරම්භ කළ ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් දාපු ගල්වෙඩි නිසා මේ වරාතැන්න ගමේ ස්ථාන කිහිපයක්ම නාය යන්න ගත්තා. මොන අණපනත් ගෙනාවත් වැඩක් නැහැ මේ මොහොතේදීත් හක්කිඳ විනාශ වෙනවා….”

මධ්‍ය කඳුකරය සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම්කරු අමිත් සේනානායක මහතා මේ ප්‍රශ්නයේ තවත් සැඟවුණු පැතිකඩක්ද හෙළි කළේය. 

‘‘මේ ගඟ දෙපස රක්ෂිතය අල්ලාගෙන ඉදිකිරීම් කරලා තියෙන්නේ රජයේ උසස් නිලධාරීන්. ඒ අතර වෛද්‍යවරු, ඉංජිනේරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු පිරිසක් ඉන්නවා. මහවැලි අධිකාරියේ හිටපු නිලධාරීන්ටත් මෙහි ඉඩම් තිබෙනවා. හක්කිඳ දූපත් සමූහයේ වටිනාකම දන්න පිරිසක් මේක කරන එක තමයි ලොකුම කනගාටුව. මේ ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස නම් කරලා දැන් අවුරුදු හතරකට වැඩියි. අදාළ කාලයේදී රක්ෂිත සීමාවේ ඉදි කිරීම් හා ගස් කැපීම් ගණනාවක් වාර්තා වුණා. ඒ කිසිවකට මධ්‍යම පරිසර අධිකාරිය නඩුවක් ගොනුකර නැහැ. ඇහුවොත් කියන්නේ නීතිමය පියවරක් ගන්නවා කියලා පමණයි. මධ්‍යම පරිසර අධිකාරියට, මහවැලි අධිකාරියට වගේම මහනුවර මහ නගර සභාවට, හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවට හා යටිනුවර ප්‍රාදේශීය සභාවට මේ ප්‍රදේශයේ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වගකීම තිබෙනවා…”

මහාචාර්ය ලලිතා දිසානායක

ලංකාවේ ගංඟා ආශ්‍රිතව දශක දෙකක පමණ කාලයක් තිස්සේ පරීක්ෂණ පවත්වමින් දත්ත එක්රැස් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහචාර්ය ලලිතා දිසානායක ගොඩමුන්න මහත්මිය ගංගා ආශ්‍රිත රක්ෂිතවලට වර්තමානයේ අත්ව තිබෙන ඉරණම පිළිබඳව මෙසේ විස්තර කළාය: ඛාදන,පරිවහන සහ තැන්පත් අවස්ථාව ලෙස ගඟක භූ ලක්ෂණ අනුව ප්‍රධාන කොටස් තුනක් හඳුනා ගන්න පුළුවන්. හක්කිඳ දූපත් පිහිටලා තිබෙන්නේ පරිවහන කලාපයක.ගංගා දූපත් බහුලව දකින්න ලැබෙන්නේ තැනපත් අවස්ථාව තුළයි.නමුත් මහවැලි ගංඟාවේ හක්කිද දූපත් පිහිටලා තිබෙන්නේ පරිවහන කාලපයකයි.ඒක සුවිශේෂ භූ ලක්ෂණයක්.ඒ දූපත් වල ඇති සශ්‍රීකත්වය ඉහළ යන්න හේතුවක් තමයි මේක තෙත් බිම් පරිසරයක් වීම.මේ දූපත් ආශ්‍රිත ප්‍රදේශය දෙපස ගන්නෝරුව රක්ෂිතය හා පේරාදෙණිය උද්භිද උද්‍යානය පිහිටලා තිබෙනවා.මේ සංචරණ කලාපයේ  සැරිසරන පක්ෂීන් ඇතුළු සත්ත්ව කොටස් වලට විවේක ගත හැකි කදිම මධ්‍යස්ථානයක් වෙනවා මේ තෙත් බිම් කලාපය.

1935 අංක 19 දරන ඉඩම් ආඥා පනත යටතේ ජල රක්ෂිත වෙන් කර තිබේ.පනතට අනුව ප්‍රධාන ගංගාවක ඉවුරේ සිට අඩි 198 ක් දෙපසට රක්ෂිත ප්‍රදේශයක් පවත්වාගෙන යායුතුය.නාගරීකරණයත් සමඟ මෙම සීමා යම් ප්‍රමාණයකට අඩු වීමට පුළුවන. නමුත්  හක්කිඳ පරිසර කලාපයේ මේ ආකාර රක්ෂිත ප්‍රදේශයක් දක්නට නොමැත.එය සෑම අතින්ම ග්‍රහණයට ගෙන ඇත්තේ ගඟ ආක්‍රමණය කරන පිරිස් විසිනි.

‘ආවට ගියාට නඩු පවරන්න බැහැ’

හක්කිඳ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් සියලු දෙනාගේ ඇඟිල්ල දිගු වන්නේ මධ්‍යම පරිසර අධිකාරිය වෙතය. එහි  මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේ. වැලිකන්න මහතා එයට පිළිතුරු දෙමින් මෙසේ පැවසුවේය.

‘‘මේක ඉතා සංවේදී පරිසර කලාපයක්. ඊට අදාළ පර්යේෂණ පත්‍රිකා රැසක් සැලකිල්ලට ගෙන තමයි මේ ප්‍රදේශය පරිසර ආරක්ෂිත කලාපයක් ලෙස ගැසට් කරන්නේ. එදා ඉඳන් එම ගැසට් පත්‍රයට අනුකූලව තමයි ඒ කලාපයේ අවසර ලත් ක්‍රියාකාරකම් කරන්න ලැබෙන්නේ. ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ගැසට් කළ පමණින් එම ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් නැහැ. ගැසට් පත්‍රයේ දක්වා තිබෙන නෛතික ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමේ වැඩිම වගකීම පැවරෙන්නේ ප්‍රදේශවාසීන්ටයි. අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන් විටින් විට කරන නීත්‍යනුකූල නොවන ඉදිකිරීම් අපි නිරන්තරව නිරීක්ෂණය කරනවා. ඒවා සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. එක්තරා ප්‍රභූවරයෙක් ගඟ ගොඩ කරලා සිමෙන්ති දාලා දූපත්වලට යන්න පහසුවන ක්‍රමවේදයක් සකස් කරලා තිබුණා.ඔහුට දැනුම් දුන්නා වාහම ඒක ඉවත් කරන්න කියලා. ඔහු ඒ අනුව ඒක ඉවත් කළා. නගර සභාව මගින් නාන තොටුපොළට යන්න පඩි පෙළක් ඉදිකර තිබුණා. ඒක නගර සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ඉදි කළ එකක්. මේ වන විට ඒක කඩා ඉවත් කරන්න කියලා නගර සභාවට දැනුම් දී තිබෙනවා. ආරක්ෂිත කලාපයේ ගඟට යාබදව හෝටලයක් ඉදි කෙරෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අපි ඔහුට නීති නිවේදන යොමු කර තිබෙනවා. නීති නිවේදනයක් නිකුත් කිරීමේ බලය තිබෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටයි. ඒ සඳහා කාලයක් ගතවන නිසා පළාත් අධ්‍යක්ෂ ලෙස මට බලය පවරා තිබෙනවා කඩිනමින් නිතී නිවේදනයක් නිකුත් කරන්න. ඒ අනුව මා අවශ්‍යය පියවර ගෙන තිබෙනවා. පරිසර අධිකාරිය මගින් මේ ප්‍රදේශයට කමිටුවක් පත්කර තිබෙනවා. ඒ මගින් බලාපොරාත්තු වෙන්නේ අධීක්ෂණයක්. ක්‍රියාකාරී පරිසර සංවිධානයක් මේකට අපි සම්බන්ධ කර ගන්නවා. අනවසර ක්‍රියා බොහෝ විට සිදු වන්නේ නිවාඩු දිනවල. ලොක් ඩවුන් කාල සීමාවේදීත් මේ ආකාර සිදුවීම් ඉහළ ගියා. පරිසර සංවිධානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. මේවා බොහොමයක සාමාජිකත්වය දෙතුන් දෙනෙකුට වඩා නැහැ. මේ අය කරන්නේ මාධ්‍යවලට තොරතුරු දීලා තමන්ගේ නොහැකියාව වහගෙන මේක රැක ගන්න මහන්සි වෙන රාජ්‍ය ආයතනවලට චෝදනා කිරීමයි. පරිසර නඩු වැටෙන්නේ අපාරාධ නඩු ගනයටයි. එවැනි නඩුවක් අධිකරණයට යොමු කළ පසු එය ඔප්පු කිරීමේ වගකීම අප සතු වෙනවා. ඒ නිසා ආවාට ගියාට නඩු පවරන්න බැහැ. ප්‍රධාන කාර්යාලයේ නීති අංශයට යොමු කර උපදෙස් ලබාගෙන තමයි නඩුවක් දාන්නේ. ඒ සඳහා කාලයක් ගත වෙනවා.

හක්කිඳ ආරක්ෂිත කලාපය තුළ වාර්තමානයේ සිදුවෙමින් පවතින අනවසර ඉදි කිරීම් නිසා වන පිරිසර හානිය පිළිබඳව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය ඔක්තෝම්බර් මස 21 දින පාර්ලිමේන්තුවද දැනුම්වත් කරමින් ඉල්ලා සිටියේ මේ පිළිබඳව වගකිව යුතු සියලු අංශ වල අවධානය යොමුවිය යුතු බවයි.

මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වන කරුණක් නම්, විනාශයක් සිදු වූ පසුව පවා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ඉතා දුර්වල මට්ටමක පවතින බවයි. මෙවැනි සංවේදී පාරිසරික කලාපයක් සම්බන්ධයෙන් මූලිකවම සිදු විය යුත්තේ විනාශයක් සිදු වීම වැළැක්වීමයි. ඒ සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් නොමැති බවද, බලධාරීන්, ප්‍රජාව හා ප්‍රජා සංවිධාන යන පාර්ශ්ව අතර මනා සහයෝගයක් නොමැති බවද පැහැදිලිය. පරිසර ආරක්ෂණ අණ පනත් ක්‍රියාත්මක කිරීම, ඒ සම්බන්ධයෙන් බලය පැවරෙන මහජන මුදලින් නඩත්තු වන ආයතනවල  වගකීමකි. ඒ සඳහා සහාය වීම මෙන්ම එය නිසි ලෙස ඉටු නොවන්නේ නම් ඒ පිළිබඳව හඬ නැගීමද පුරවැසියන් සතු අනුල්ලංඝනීය වගකීමකි. පාරිසරික පද්ධතියක යහපැවැත්ම මෙන්ම සමාජක්‍රමයක යහපැවැත්මද ආරක්ෂා වීමට නම් මේ සාධක මනාව තුලනය විය යුතු නොවේද?

ඡායාරූප – රුවන් මීගම්මන

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.