‍මෙරට කොවිඩ් 19 පාලනය කිරීම සඳහා ඇමරිකාවෙන් තවත් එන්නත් තොගයක්- ඇමරිකානු තානාපතිනිය කථානායකතුමාට දන්වයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් එන්නත් තොගයක් ප්‍රදානය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය පැවසුවාය.

ඒ මහත්මිය මේ අදහස් පල කළේ අද (02) පාර්ලිමේන්තුවේදී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය. පාර්ලිමේන්තු සංකීර්ණයයේ කථානායක කාර්යාලයේදී පැවති මෙම හමුවට ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දේශපාලන ප්‍රධානී මාකස් කාපෙන්ටර් මහතා සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී  කුෂානි රෝහණදීර මහත්මිය සම්බන්ධ වී සිටියහ.

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු හා ආර්ථික කටයුතු ඇතුළු දෙරටට වැදගත් වන කරුණු රැසක් මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණි. විශේෂයෙන් ඉදිරියේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ‍මෙරට තුළ සිදු කිරීමට අපේක්ෂිත බල ශක්ති ක්ෂේත්‍රයට අදාල ආයෝජන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිනි.

ශ්‍රී ලංකාවේ දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් මැතිවරණ ප්‍රතිසංස්කරණයට අදාල විශේෂ කාරක සභාවක් පිහිටුවීම සම්බන්ධව සහ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නැවත පිහිටුවීමට ගෙන ඇති පියවර පිළිබඳව ඇමරිකාව සිය සතුට පල කරන බවද මෙහිදී තානාපතිනිය පැවසුවාය.

මුළු ලෝකයම මුහුණදී තිබෙන අසීරු කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ඇමරිකාව නිරන්තරයෙන් සහයෝගය දක්වන බවද තානාපතිනිය කථානායකවරයා වෙත දන්වා සිටියාය.

ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය 2018 සිට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කරන්නීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *