හොර වහන්න ලොරි පෙරළන දුම්රිය සංඥා උප දෙපාර්තමේන්තුව

පසුගිය ජනවාරි 18 වෙනිදා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථයක් දෙමටගොඩ දුම්රිය කාර්මික අංගනයේ සිට අනුරාධපුරය බලා ධාවනය වන අතරමගදී පෙරලී ඇත. ප්‍රකාශ තන්තු රැහැන් (Fiber Optic Cables) තොගයක් අනුරාධපුරය බලා ගෙන යමින් තිබියදී මෙම අනතුර සිදු ව ඇති නමුත් අනුරාධපුරයෙන් එවැනි අවශ්‍යතාවයක් පිළිබඳ දන්වා තිබී නැත.
එසේ ඉල්ලා නොතිබියදී, මෙකී ප්‍රකාශ තන්තු රැහැන් අනුරාධපුරයට යවා ඇත්තේ දුම්රිය සංඥා උප දෙපාර්තමේන්තුවේ බලධාරීන් ඒවා මිළදී ගැනීමේදී කළ වංචාවක් වසන් කිරීමටය. වේගවත් සන්නිවේදන ක්‍රියාවලියකදී වැදගත් වන ප්‍රකාශ තන්තු රැහැන් දුම්රිය සංඥා විධිමත් කිරීමට ප්‍රයෝජනවත් වන අතර කිසියම් නවීකරණයක් සඳහා එම රැහැන් කිලෝමීටර් 17ක් අවශ්‍යව තිබී ඇත. කළ යුතු පහසුම කාර්යය නම් දිග මීටර් 1000 බැගින් වන කැබලි 17 ක් මිළට ගෙන පෑස්සීම වන අතර එසේ මිළදී ගැනීමට පුලුවන. නමුත් දුම්රිය සංඥා උප දෙපාර්තමේන්තුව සිදු කර ඇත්තේ මීටර් 100 බැගින් වන කැබලි 170ක් මිළදී ගැනීමයි. වාර්තා වන අන්දමට මෙම රැහැන් යා කිරීම සඳහා පෑස්සිය යුතු අතර එක පෑස්සීමකට (පෑස්සීම යනුවෙන් අදහස් කරන්නේ කේබල් පුරුද්දා යා කිරීමයි) රුපියල් 35000ක ඇස්තමේන්තු ගත මුදලක් වැය වේ. මේ අනුව මීටර් 1000 රැහැන් 17ක් පෑස්සීමට යන මුදල මෙන් දස ගුණයක් මීටර් 100 රැහැන් 170ක් පෑස්සීමේදී වැයවන අතර වංචා කෙරෙනුයේ එම අතිරික්ත මහජන මුදලයි. දළ වශයෙන් එහිදී රුපියල් ලක්ෂ පනස් තුනක් වැඩිපුර වැයවන අතර ඉන් යටිමඩි ගසා ගන්නා මුදල නිශ්චිතව කිව නොහැක. අනෙක් අතර මෙවැනි රැහැනක පිරිද්දීම් වැඩිවන තරමට දත්ත සම්ප්‍රේෂණ වේගයට හා ගුණාත්මයට ඇතිවනුයේ ඍන බලපෑමකි.
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය පාඩු ලබන අතර එහි ව්‍යවසායික ව්‍යුහයේ වෙනස් කිරීම් උදෙසා දුම්රිය සේවකයින්ගේ කැමැත්තක්ද නැත. සාමාන්‍ය රජයේ සේවකයින්ට වඩා ඉහළ වැටුපක් දුම්රිය සේවකයින්ට ගෙවන නමුත් සේවාව පිළිබඳ මහජනයාගේ වැඩි පැහැදීමක්ද නැත. එසේ තිබියදී සිදුවන මෙවැනි අවකල් ක්‍රියා තවදුරටත් දුම්රිය සේවාව පිරිහෙළන බැවින් වහා අවධානය යොමුකිරීම ඇමතිවරයාගේ වගකීම බව මහජනයා පවසති.
සංස්කාරක සටහන - මෙම පුවතට අදාල වැඩිදුර සොයා බැලීම් සිදු කෙරෙමින් පවතින අතර මහජන යහපත සළකා මෙසේ පළ කිරීම සිදු කෙරේ. www.sinhala.ejournalist.lk වෘත්තීය භාවිතාවන් හා මාධ්‍ය ආචාර ධර්ම ගරු කරන බැවින් මෙම පුවතේ සාවද්‍ය යමක් වේ නම් හෝ පුවත වැරදි නම් පිළිතුරු දීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අයිතිය තිබේ. ඒ අනුව කිසියම් පිළිතුරක් ලබා දෙන්නේ නම් එයද මීට සමාන වැදගත්කමකින් යුක්තව පළ කිරීමට අප වෙබ් අඩවිය කටයුතු කරනු ඇත.