හෙට සිට සීමිතව පොදු ප්‍රවාහන සේවා – ඇමති දිලුම්

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු හෙට (21) සිට අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් සීමිත ප්‍රවාහන සේවා පමණක් ක්‍රියාත්මක කරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මෙම සංචරණ සීමා ඉවත් කිරීම යනු සම්පූර්ණයෙන් රට විවෘත කිරීමක් නොවන බවත් මේ නිසා අත්‍යවශ්‍යයම කාරනයකට හැර නිවෙස් වලින් පිටතට ඒමෙන් වලකින ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

මහනුවර කටුගස්තොටදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඊයේ (19) අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.

සංචරණ සීමා ඉවත් කෙරෙන දින කහිපයේදී ලංකා ගමනා ගමණ මණ්ඩලයේ බස් රථ,පුද්ගලික බස් රථ  හා දුම්රිය කිහිපයක් ධාවනයේ යොදවන නමුත් කිසිදු අවස්ථාවකදී පළාත් අතර සංචරණයට එහිදී අවස්ථාව නොලැබෙන බවයත් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

දුම්රිය ගමන්වාර 17 ක් පමණක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන බවත් පළාත් අතර ගමන් ගැනීමට අවස්ථාව නොලැබෙන සේ මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ සහ ගම්පහ  සිට කොළඹ කොටුව දක්වා දුම්රිය හතරක් ධාවනය වන බවත් පස්වරුවේ එම දුම්රිය පිටත්වූ අනුපිළිවෙළට කොටුවේ සිට ගමන් ආරම්භක ස්ථාන දක්වා ගමන් ගන්නා බවත් අමුණුගම මහතා පැවසුවේය.

අවිස්සාවේල්ලෙන් දුම්රිය දෙකක් සහ  පාදුක්කෙන් දුම්රිය දෙකක් පිටත් වන බව සදහන් කළ  මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පහක් ධාවනයට සැලසුම් කර ඇතැයි කීවේය.

ඒ අනුව  හික්කඩුව දක්වා දුම්රිය දෙකක් සහ මීගමුව දක්වා දුම්රිය දෙකක් ඊට අයත්වන බවද  ඒ මහතා පැවසුවේය.

සංචරණ සීමා ලිහිල් කළ දින තුනේදී මෙම දුම්රිය ධාවනය වන නමුත් මේ දක්වා අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් ක්‍රියාත්මක වූ ප්‍රවාහන සේවාවන් ඒ අයුරින්ම වෙනස්වීමකින් තොරව ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල ඉහළයාම හමුවේ බස් ගාස්තු ඉහළ නැන්වීම සාධාරණ විසදුමක් නොවන බව පුද්ගලික බස් රථ හිමියන් ද පිළිගෙන ඇති නිසා ඉදිරියේදී ඔවුන් සමඟ සාකච්ඡා කොට සුදුසු විකල්පයක් ලබා දෙන බවද ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.