හෙට මැයි දිනය “වැඩකරන ජනතාව පීඩනයට පත්කිරීමට එරෙහිව පෙළගැසෙමු” – ලාල්කාන්ත

 හෙට මැයි දිනය “වැඩකරන ජනතාව පීඩනයට පත්කිරීමට එරෙහිව පෙළගැසෙමු” – ලාල්කාන්ත

රට තුල මෙන්ම ලෝකය පුරා කොරෝනා වෛරසය වසංගතයක් බවට පත්වී ඇති මොහොතක 132 වන ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට ලෝක වැඩකරන ජනතාවට සිදුවී ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත පවසයි. එවැනි පසුබිමක ලෝකය පුරා ධනේෂ්වර රාජ්‍යයන්ගේ අර්බුදය, අසාර්ථකභාවය ලෝකවාසීන්ගේ ඇස්පනාපිට ඔප්පු කරමින් ඇති මොහොතක වැඩකරන ජනතාව පෙරටත් වඩා ධෛර්යයෙන් යුතුව පෙළගැසීමේ අවශ්‍යතාවය කියාදෙන මැයි දිනය බවට මෙය පත්වනු නොඅනුමාන බවද ඔහු පවසයි.

“ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මේ වන විට ලෝකය පුරා වැඩකරන ජනතාවගෙන් සැදුම් ලත් සංවිධාන, රාජ්‍යයන් සූදානම් වෙමින් ඇත. එසේම ලෝකය පුරා වසංගත තත්වයක් ව්‍යාප්ත වී ඇති මොහොතක වුවද ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම වෙනුවෙන් පෙළගැසෙන සියලූ දෙනා අප ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු. එසේම ධනපති පන්තියද මැයිදින සැමරුම වෙනුවෙන් කම්කරු පන්තිය සමග පෙනී සිටීම ඔවුන්ගේ අර්බුදය කියාපන දෛවයේ සරදමකි.” යනුවෙන්ද කේ.ඩී ලාල්කාන්ත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

මෙවර මැයි දිනය සැමරීමට සිදුව ඇත්තේ රට තුල වැඩකරන ජනතාවට තම වැඩබිම් වෙත යාමට හැකි අවස්ථාවක නොවේ. එබැවින් ජනතාවගේ ජීවන තත්වය තවදුරටත් පහතට වැටී ඇති අතර පෞද්ගලික අංශයේ රැකියාව කරන බොහෝ පිරිසකට තම රැකියාව අහිමි වීමේ තත්වයක් මතුව ඇත. #කොරෝනා වැනි රෝගයක් ලෝකය පුරා ව්‍යාප්ත වෙද්දී මෙතරම් දියුණු තාක්‍ෂණික ලෝකයට මෙවැනි වෛරසයකට ඖෂධ සොයාගැනීමට නොහැකිවීම ධනේෂ්වර ක‍්‍රමයේ අර්බුදය ප‍්‍රකාශයට පත්වන අවස්ථාවක් බවට මෙය පත්ව හමාරය. එසේම මෙවැනි අර්බුදයකට මුහුණ දීමට ශක්තිමත් යාන්ත‍්‍රණයක් සකස් කරගැනීමට හෝ ධනේෂ්වර ආණ්ඩුවල නොහැකියාව මෙරට මෙන්ම වෙනත් රටවලද ඉතා හොඳින් පෙන්වා ඇත.

පොදුවේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික මෙන්ම වතු අංශයේ සේවය කරන වැඩකරන ජනතාව විශාල කැපකිරීම් කරමින් ඔවුන්ගේ ජීවිත අවාධානම නොසලකා #කොරෝනා වෛරසයෙන් ජනතාව බේරාගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් ඇත. එසේම මෙවැනි කැපකිරීම් සිදුකරන බොහෝ පෞද්ගලික අංශයේ පිරිසකට තම රැකියාව අහිමිවීමට එරෙහිව මැදිහත්වීමද අද දවසේ අත්‍යවශ්‍ය වී ඇති කරුණකි. ඒ වෙනුවෙන් අප මේ මොහොතේද සටන් කරමින් සිටී. #කොරෝනා වෛරසය පරාජයට පත්කිරීමට මෙන්ම තම ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පෙළගැසීමටද ඉදිරියේදී අප හමුවේ ඇති අභියෝගයකි. එවැනි මොහොතක රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීමේ දැඩි අවධානම් තත්වයකටද අප සියලූ දෙනා මුහුණ පා ඇති අතර එය පරාජය කළ හැක්කේද වැඩකරන ජනතාවගේ ශක්තියෙන් බවට වන උදාහරණ මීට පෙර ඕනෑ තරම් අප අත්දැක ඇත්තෙමු.

මේ සියලූ කරුණුවලින් ගම්‍යවන්නේ #කොරෝනා වෛරසය හෝ ඕනෑම අර්බුද අවස්ථාවකට මුහුණ දීමට ධනපති පන්තියට ඇති නොහැකියාවය. එැවනි අර්බුදයන්වලට සාර්ථකව මුහුණ දී ජනතා ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටිය හැක්කේ වැඩකරන ජනතාවගෙන් සැදුම්ලත් සමාජවාදී රාජ්‍යයන්ට බව මේ වන විටත් ඔප්පු කරමින් තිබේ. එබැවින් 132 වන ජාත්‍යන්තර කම්කරු දිනයේදී වැඩකරන ජනතා ව්‍යාපාරයක් ලෙස අප සියලූදෙනා හට ධනපති පන්තියට එරෙහිව නැගී සිටිමින් වැඩකරන පන්තියේ ජයග‍්‍රහණය සඳහා කැපවීමෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය වඩ වඩාත් හොඳින් මතුව ඇත.

ජාත්‍යන්තර වැඩකරන ජනතා දිනය දිගුකල් දිනේවා. වැඩකරන ජනතාවගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙළගැසෙමු. යනුවෙන්ද සිය මැයි දින පණිවිඩයෙන් ලාල්කාන්ත කියා සිටී.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *