හුස්ම ගත්තත් ලෙඩ හැදෙන මහනුවර

 

මහනුවර නගරාශ්‍රිත වායු ගෝලයේ රෝග කාරක ක්ෂුද්‍ර ජීවී ඝනත්වය ඉහළ ගොස් තිබෙන බව හන්තාන මූලික අධ්‍යයන ආයතනය මගින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනාවරණයවී තිබේ.

ග්‍රාමීය පරිසරයට වඩා නාගරික පරිසරයේ මෙම තත්ත්වය දක්නට ලැබෙන බවත් වායු දුෂණ ඝනත්වය හා සමගාමීව ක්ෂුද්‍ර ජීවි ගහනයද වැඩිවන බව මෙම පරීක්ෂණය මගින් තහවුරුව ඇත.

හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහචාර්ය ධම්මිකා මගනආරච්චි හා පර්යේෂණ ශිෂ්‍ය පවිත්‍රා මැදමාරන්දාවල යන අය විසින් අදාළ පරීක්ෂණය මහනුවර නගරය හා ග්‍රාමීය ප්‍රදේශ මූලික කර ගනිමින් සිදුකර තිබේ.

එන්ටරෝබැක්ටර්,ඇසිනෙටෝබැක්ටර්,බැසිලස් මෝගනෙල්ලා ආදි ක්ෂුද්‍ර ජීවීන් ගහණය නාගරික වායු ගෝලයේ වැඩි බව පෙන්වා දෙන පර්යේෂකයින් ඇස් කන් හා බහිස්‍රාවීය පද්ධතිය ආශ්‍රිත අසාත්මිකතා මෙන්ම පෙනහළු පිළිකා,නිව්මෝනියාව ආදි රෝග උත්සන්න කිරීමටද මෙම ක්ෂුද්‍ර ජීවීන්ට හැකි බව පවසති.

වායු ගෝලයේ මේ ආකාර ක්ෂුද්‍ර ජීවී ගහණය වැඩිව පවතින විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි ලෙස වර්ධනය නොවූ කුඩා දරුවන් එවැනි රෝග වලින් ආරක්ෂා කිරීම අපහසු කරුණක් වන බවද පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

නිතර පවතින කැස්ස,ඇදුම හා ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග නාගරික ළමුන් අතර බහුල වීමට මෙම තත්ත්වය හේතුවී තිබෙන බවද පර්යේෂණයේදී හෙළිව ඇත.

බිත්ති වල හැදෙන දිලීර,කසළ හා දූවිලි වායු ගෝලයට ක්ෂුද්‍ර ජීවීන් මුදා හැරෙන ප්‍රධාන ස්ථාන වන බැවින් නිවාස පිරිසිදුව තබා ගැනීමත් ගොඩනැගිලි ඉදි කිරීමේදී නිසි පරිදි වායු කවුළු තැබීමත් ඉතා වැදගත් බව මහචාර්ය ධම්මිකා මගනආරච්චි මහත්මිය පවසයි. 

රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්ට මිනිස් සිරුරේ ප්‍රතිශක්ති කාරකයන් ගෙන් ආරක්ෂා වීමට හැකි අංගෝපාංග තිබෙන බවත් එම ක්ෂුද්‍ර ජීවීන්ගේ ඝන සෛල ඊට උදාහරණයක් බවත් ඇය කීවාය.එම ඝන සෛල බිත්ති තුළින් මිනිස් ප්‍රතිශක්තිකාරකයන්ට ඇතුළු වීමට නොහැකි වීම නිසා රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්ට ඔවුන්ගේ ක්‍රියාකාරකම් මිනිස් සිරුර තුළ පහසුවෙන් කරගෙන යාමට හැකි බවද මහචාර්යවරිය ප්‍රකාශ කළාය.

මෙම ක්ෂුද්‍ර ජීවීන් අසාමාන්‍යය ලෙස පරිසර තත්ත්වයන්ට ගැලපෙන ලෙස අනුවර්තනය වීම නිසා සාමාන්‍ය ඖෂධ වලට දක්වන ප්‍රතිචාරය අඩුය.මේ නිසා එමගින් ඇති වන රෝග සුව කිරීම අපහසු කරුණක් වී තිබෙන බවද පර්යේෂණයේදී හෙළිව තිබේ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published.