හාල් හිඟයක් ගැන බියවිය යුතු නැහැ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

මහ කන්නයේ සහල් අස්වැන්න බොහෝ දුරට නෙළා අවසන් බැවින් ඉදිරියේදී දේශීය වෙළෙඳ පොළේ කිසිදු සහල් හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා පවසයි.
මහ කන්නයේ මෙන්ම ඉහළ අස්වැන්නක් එළඹෙන යල කන්නයේදීත් ලබා ගැනීම තුළින් මෙරට සහල් අවශ්‍යතාව මාස 15 ක කාලයකට සපුරා ගැනීමට හැකියාව තිබෙන බවද ඒ මහතා කීය.
මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් බවත් මහ කන්නයේ මෙන්ම සාර්ථක අස්වැන්නක් යල කන්නයේදීත් ලබා ගැනීමට හැකියාව ලැබුණහොත් සහල් අතිරික්තයක්ද ඇතිවනු ඇතැයි ඒ මහතා පැවසුවේය.
මහනුවර ගන්නෝරුවේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තු කාර්යාලයේදී පැවැති මාධ්‍යය හමුවකදී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව අද (09) ප්‍රකාශ කළේය.
මහ කන්නයේදී හෙක්ටයාර් 320000 ක වී වගාව සිදුකළ බවත් මේ වනවිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හැරෙන්නට සෙසු ප්‍රදේශ වල අස්වනු නෙළා අවසන් බවත් කී ඒ මහතා ඉන් ලබාගත් වී ප්‍රමාණය මෙරට සහල් අවශ්‍යතාව මාස නවයක කාලයකට පිරිමසාලීමට ප්‍රමාණවත් බවද අවධාරණය කළේය.
එළඹෙන යල කන්නයේදීත් අපේක්ෂා කරන මුළු අස්වැන්න ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් එම අස්වැන්නද එකතු වූ පසු මාස 15ක කාලයකට අවශ්‍ය සහල් අප සතුවන බවත් වීරකෝන් මහතා කීය.