හමුදාවට කෘෂි බලකායක් – ජනපති
ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායක වීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බවද, යුධ හමුදාවේ කෘෂිකර්ම ඒකකයක් පිහිටුවා වගාවන්ට සහායවිය හැකි බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජන ජීවිතය යථා තත්වයට පත් කරමින් ආර්ථිකය විවෘත කිරීමත් සමග වැවිලි ක්ෂේත්‍රය වැදගත් අංශයක් ලෙස ඊට සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව පසුගියද (12) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා එසේ සඳහන් කළේය.
ලොව සියලු රටවල් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටී. ආනයන සීමා කරමින් අභියෝග කළමනාකරණය කිරීමට තම රජයට හැකි වූ බව පෙන්වාදුන් ජනාධිපතිතුමා වැවිලි ක්ෂේත්‍රයට උත්පාදනය කළ හැකි බොහෝ දේ අනවශ්‍ය ලෙස ආනයනය කරමින් ඇතැයි පැවසීය.
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා අපනයන ප්‍රවර්ධනයට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කළේය.
“අපනයනය ඉලක්ක කරගත් භෝග කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය. අගය එකතු කිරීම මත කුරුඳු, ගම්මිරිස් ඇතුළු ප්‍රධාන වැවිලි මගින් ඉහළ අපනයන ආදායමක් ඉපැයීමට සැලසුම් කරන්නැ”යි ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේය.
2018 වසරේදී මෙරට වැවිලි භෝග අපනයන ආදායම රුපියල් බිලියන 538කි. 2022 වන විට එය රුපියල් බිලියන 753 දක්වා නැංවීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාව බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසීය.
දේශීය වෙළෙඳපොළ හා අපනයනය ඉලක්ක කර ගනිමින් පොල් වගාව සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව කී පතිරණ මහතා පලෙයි, කිලිනොච්චි සහ මුලතිව් යන උතුරේ ප්‍රදේශවල ද පොල් වගාව සාර්ථක වී ඇතැයි සඳහන් කළේය. කොකෝවා සහ කෝපි වගාව දියුණු කිරීමට ද පියවර ගෙන තිබේ.
සියලු වැවිලි භෝග ඉහළ ප්‍රමිතියෙන් යුතුව අපනයනය කළ යුතු බවද ජනාධිපතිතුමා අමාත්‍යංශයේ නිලධාරීන්ට අවධාරණය කළේය. ජනතා වතු සංවර්ධන මණ්ඩලය පාඩු ලැබීමට හේතු විමර්ශනය කොට ඉක්මණින් ලාබ ලැබීමට ඉවහල්වන අයුරින් වැවිලි සංස්ථාව සතු දැව අපනයනය විධිමත් කරන ලෙස ද එතුමා උපදෙස් දුන්නේය.
ග්‍රාමීය කජු වගාව දියුණු කර ගැමි ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව පවතී. වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස වැව් ප්‍රතිසංස්කරණය කළ යුතුය. වැවිලි ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණය සඳහා වන සංරක්ෂණ සහ ඉඩම් අමාත්‍යාංශය හවුල් කර ගැනීමට ද තීරණය විය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අනුරුද්ධ විජේකෝන් යන මහත්වරු සහ අමාත්‍යංශයට අයත් ආයතන කිහිපයක නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.