හම්බන්තොට සූකිරි අස්වැන්න සරු වෙයි.
ලංකා ලුණු සමාගමට අයත් හම්බන්තොට මහ ලේවායේ ලුණු අස්වනු නෙලිම ලංකා ලුණු සමාගමේ සභාපති නීතීඥ නිශාන්ත සදබරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාණ චාරිත්‍රානුකූලව සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ඊයේ (07) පෙරවරු 6.24ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණි.
අනාදිමත් කාලයක පටන් ලුණු ලේවායේ ලුණු අස්වනු නෙලිමේදී පැවති සම්ප්‍රදායන් ඒ අයුරින්ම ආරක්ෂා කරගනිමින් මෙම ලුණු අස්වනු නෙලිම ආරම්භ කිරිම විශේෂත්වය.
මෙහිදි අදහස් දක්වමින් ලංකා ලුණු සමාගමේ සභාපති නිතීඥ නිශාන්ත සදභරණ මහතා මෙලෙස පැවසිය.
මෙම ලේවායේ ලුණු අස්වනු නෙලිම හා සම්බන්ධ පුරාණ චාරිත්‍ර රැසක් පවතිනවා.කලින් කලට එම චාරිත්‍ර අතහැර දමා තිබුණා.නමුත් මෙවර මා එම චාරිත්‍ර ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරිමට කටයුතු කලපා.ඒ අනුව අද නෙලීම ආරම්භ කල මෙහි පළමු ලුණු තොගය කතරගම කිරිවෙහෙර විහාරයටත්, කතරගම දේවාලයටත්, මූලගිරි මහා විහාරයටත්, හේනකඩුව රජමහා විහාරයට හා දෙවුන්දර මහ දේවාලයටත් පුජා කිරිම සිදුකරනවා. කවුරු මොනවා කිවුවත් ඒ තුළින් අපිට මේ සමාගමට වගේම මේ සේවකයන්ට විශාල සෙතක් සැළසෙන බවට අපි විශ්වාස කරනවා.
විශේෂයෙන්ම කියන්න ඕනේ රට වටා ඇති මුහුද කියන්නේ හරියට කිරි එළදෙනක් වගෙයි. නමුත් අප තවමත් මුහුදු ජලයෙන් ලබා ගන්නෙ ලුණු විතරයි. ඒකත් සාම්ප්‍රදායිකව හදන ලුණු ටික විතරයි. ඉන් එහාට කිසිවෙකුත් මේ පිළිබදව හිතලා නැහැ.ජාත්‍යන්තරය තුළ මේ වන විට රික්තක ලුණු (vacum salt) සදහා පවතින්නේ ඉහළ ඉල්ලුමක්. බිස්කට්,සොසේජස් වැනි නිශ්පාදන සදහා භාවිතා කරන්නේ රික්තක ලුණුයි. මේ වන විට පිටරටින් ලුණු ගෙන්විම නතර කර තියෙන නිසා දේශීය නිශ්පාදකයන්ගෙන් පවා රික්තක ලුණු සදහා විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම රටට අවශ්‍ය කෝස්ටික් සෝඩා, ක්ලෝරින් ආදියත් තවමත් විදෙස් රටවලිනුයි මෙරටට ගෙන්වන්නේ. ඉදිරියේදි අපි බලාපොරොත්තු වෙනවා ලංකා ලුණු සමාගම විදියට සාම්ප්‍රදායික ලුණු පමණක් නිෂ්පාදනය නොකර ඉන් එහාට ගොස් රික්තක ලුණු,කෝස්ටික් සොඩා, ක්ලෝරින් වැනි නිෂ්පාදනයන් අපේ ලේවාය තුළදීම නිෂ්පාදනය කිරිමටත්. ඒ තුළින් රටට විශාල මුදලක් ඉතිරි කර ගන්නත් අපට හැකිවෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම ලංකා ලුණු සමාගම සතුව පවතින පලටුපාන ලේවායට අයත් ලුණු නිෂ්පාදනය සඳහා යොදා නොගන්නා අක්කර හයසියයක පමන වනගත භූමියෙහි කිසිඳු ගහකොළ හානියක් සිදු නොකරමින් පරිසර හිතකාමී සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක්ද ක්‍රියාත්මක කර දේශීය හා විදේශිකයන්ගේ සංචාරක ආකර්ශනය දිනාගත හැකි ස්ථානයක් බවට පත් කිරිමටත් බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.
මේ අවස්ථාව සදහා ලංකා ලුණු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හියුමන් රොඩ්‍රිගෝ මහතා ඇතුළු නිෂ්පාදන අධිකාරීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.