හම්බන්තොට සම්පූර්ණයෙන් චීනයට දීලා නෑ – චීන තානාපති

හම්බන්තොට වරාය සම්පූර්ණයෙන්ම චීනයට පවරා දී ඇති බවට ඇතැමුන් නිවරදි නොවන මතයක් සමාජය තුළ ව්‍යාප්ත කර ඇතැයි චීනයේ තානාපති Cheng Xueyuan මහතා පවසයි.
චීනයේ සමාගමකට හම්බන්තොට වරාය සම්පූර්ණයෙන් පවරාදී නොමැති බවත් එහි කටයුතු එම සමාගම මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිදුකරන බව අද (21) මහනුවරට පැමිණ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් හමුවේ චීන තානාපතිවරයා මේ බව කීවේය.

හම්බන්තොට වරාය මෙන්ම කොළඹ වරාය නගරයේ සංවර්ධන හා ඉදිරි මෙහෙයුම් කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා නව රජය විසින් දක්වන ලද ආකල්පය පිළිබඳව සතුටට පත්වන බවත් ඒ සඳහා නව රජයට ස්තුතිවන්ත වන බවත් තානාපතිවරයා කීවේය.
මහනුවරට පැමිණි චීන තානාපතිවරයා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබාගත්හ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් තානාපතිවරයා පිළිගන්නා ලදී.
අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි තානාපතිවරයා එහිදී මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟ සාකච්ඡාවක නිරත වූහ.
කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය දියුණු කිරීම තුළින් සමස්ත ශ්‍රී ලංකාවටම යහපතක් හිමිවන බවත් ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන්ට රැකීරක්ෂා හිමි වීම මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට මෙම ස්ථාන දායක වන බව චීන තානාපතිවරයා මල්වතු මහ නා හිමියන් හමුවේ වැඩිදුරටත් කීවේය.
අස්ගිරි මහා විහාරයට පැමිණි චීන තානාපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟ සාකච්ඡාවෙහි නිරත වූහ.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අතීතයේදී මෙන්ම ඉදිරියටත් චීන සහයෝගය හිමිවන බව කී තානාපතිවරයා චීන ජාතික ෆාහියන් භික්ෂුවගේ සමයටත් පෙර සිටම දෙපාර්ශවය සුහද සබදකම්වලින් යුතු රටක් යැයි කීවේය.
රටේ විශාලත්වය කුමක් වුවත් සුහද සබඳතා ඊට කිසිදු බාධාවක් නොවන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හැකි උපරිම අයුරින් චීනයේ සහයෝගය ලබාදීමට සිය රජය කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.