හපුතල කන්ද හැඬ වූ වයි 12 අනතුර

 හපුතල කන්ද හැඬ වූ වයි 12 අනතුර

දැනට ලොව පුරා අනතුරු 14 යි

ලංකාවෙන් වයි 12 අනතුරු 02 ක්

මගීන් 17 කට සහ නියමුවන් දෙදෙනෙකුට යා හැකි යානාවක්

ලාඕසයේ සිදුවූ මුල්ම වයි 12 අනතුරත් ගස්වල පැටලීමෙන්

මේ යානාවක් මුලින්ම අනතුරට පත් ව ඇත්තේ 1993 ලාඕස් හීදීය. මිහිදුම නිසා ගස්වල පැටලී සිදු වූ එම අනතුරෙන් 18 දෙනෙකු මරණයට පත්ව තිබේ. දැනට මාරක අනතුරු 14ක් වාර්තා වී ඇති අතර 1997 ජනවාරි 20 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 CR-851 යානය පලාලි හී ආවේක්ෂණ මෙහෙයුමකදී අනතුරට පත්ව නියමුවන් ඇතුළු සිව් දෙනෙකු මරණයට පත් වූහ.

හපුතල නගරයට ඉතාම ආසන්නයේ ජනාකීර්ණ පෙදෙසක සිදු වූ ගුවන් අනතුර බොහෝ කලකට පසුව මෙරට සිදු වූ ගුවන් අනතුරයි.  ගුවන් හමුදාවට අයත් වයි 12 යානාව නිවෙසක් පිටු පස ගසක එක් තටුවක් වැදීම නිසා අනතුරට පත් වූයේ එහි ගමන් ගත් නියමුවන් දෙදෙනා ඇතුළු සිවු දෙනාටම මරණය උරුම කර දෙමිනි. වීරවිල ගුවන් කඳවුරෙන් අහසට නැඟි එම යානය සිරිත් පරිදි විමර්ශන කාර්යයක රාජකාරිමය වශයෙන් නිරත වූ බව ගුවන් හමුදාව තහවුරු කළේය.  

කොටි සංවිධානය ගුවන් යානා නාශක අවි සහ මිසයිල ශක්තිය ඇතිව සිටි වකවානුවේ ගුවන් හමුදා ප්‍රහාරක යානා, ඇව්රෝ ප්‍රවාහන යානා සේම ලයන් එයාර් අභ්‍යන්තර ගුවන් සේවයට අයත් යානා පවා වරින්වර පොළව මත පතිත වූ අවස්ථාද කාර්මික දෝෂ නිසා ගුවන් යානා කඩා වැටුණු සිද්ධිද මෙරට ජනයාගේ මතකයේ ඇත. එහෙත් සදා මතකයේ රැඳුණු ගුවන් අනතුර ඉන්දුනීසියානු යානාවක් සප්ත කන්‍යා කඳුවැටියේ හැපී විනාශ වීමයි. වේග රිද්ම ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් ගීයෙනුත් ගැයූ එම අනතුරෙන් මරණයට පත් වූයේ ඉන්දුනීසියාවේ සිට මෙරට ගුවන් කලාපය හරහා මක්කම වන්දනාවේ යමින් සිටි ඉස්ලාම් බැතිමතුන් පිරිසක් සහ යානාවේ කාර්ය මණ්ඩලයයි. එවක කටකතා පැතිරුණේ ලක්ෂපාන ජලාශයේ විදුලි එළි කොළඹ ගුවන් තොටුපලේ එළි යැයි වරදවා වටහා ගෙන උන්නතාංශය වෙනස් කිරීම අනතුරට හේතුව වූ බවයි. අදද විනාශ  වූ එම ගුවන් යානාවේ රෝදයක් නෝටන් බ්‍රිජ් පොලීසියෙන් මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත. ඕලන්ද රජයට අයත් මාටින් එයාර් ගුවන් යානාවෙහි ගමන් ගත් මගීන් 191ක් දෙනෙකු මේ අනතුරෙන් මරණයට පත් වූ බව එහි සඳහන් වේ.

සප්ත කන්‍යා අනතුර හා වයි 12 අනතුර අතර සමානත්වය වන්නේ යානා දෙකම කඳුකර කලාපයක එකක් ගල් පර්වතයක හා අනික ගසක ගැටීම නිසා අනතුරට ලක් වීමයි. මාටින් එයාර් යානාව අනතුරට පත් වූයේ රාත්‍රී කාලයේ වෙද්දී වයි 12 සැහැල්ලු ගුවන් යානාව උදෑසන ඉතාම පැහැබර කාලගුණයක් පැවතියදී හපුතල කඳු බෑවුම්වල වෙනදා දක්නට ලැබෙන මීදුම නොතිබෙන තත්ත්වයක් තුළ බිහිසුණු අනතුරට මුහුණ පෑවේය. මේ වනවිට යානාව අනතුර සිදු වූ ස්ථානය කරා වංගුවක් ගනිමින් පියාසර කරන ආකාරය දැක්වෙන වීඩියෝ පවා මාධ්‍යයට නිකුත් වී තිබෙන නමුත් සියලු පරීක්ෂණ නිමා වනතුරු අනතුරට හේතුවක් ප්‍රකාශ කළ නොහැකි ය. අනතුර සිදුවූ දිනයේද නියෝජ්‍ය පොලිස්පති බදුලු දිසාව අසංක කරවිට ගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් අදාල ස්ථානයට ගොස් තිබියදී රජයේ රස පරීක්ෂක වරයාද, ගුවන් හමුදාවේ විශේෂඥයින්ද අභ්‍යන්තර විශේෂ පරීක්ෂණයකට මුල පුරා සිටියහ.

ඒ අතර සමාජ මාධ්‍යවල පළ වූ ඇතැම් පෝස්ටුවල කියැවුණේ නිර්භීත නිලධාරීන් සිදුවන්නට ගිය අනතුරකින් ජනයා මුදා ගැනීම සඳහා යානය එවන් ස්ථානයක හිතා මතා ගැටෙන්නට සළස්වා ජීවිතයෙන් සමුගත් බවයි. එය සමාන වන්නේ එම ස්ථානයට නුදුරු තැනක දෙවසරකට ඉහත සිදු වූ බස් රථ අනතුරටයි. එහි දී බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ඌව කොස්ගම  බලා දිවෙන බසයේ රියැදුරු තිරිංග ක්‍රියා විරහිත වූ බසය මාර්ගය පසක කණ්ඩියට ධාවනය කර ජීවිත ගණනක් බේරමින් තම ජීවිතයට සමු දුන්නේ ය. මේ එවැනි සිද්ධියක් දැයි කිව හැකි වන්නේ පරීක්ෂණ නිමා වූ පසු ඉදිරිපත් කෙරෙන විශේෂඥ අදහස් විමසා බැලීමෙනි. කෙසේ වෙතත් අවධානයට පාත්‍ර විය යුතු අදහසක්ද ඇතැම් පෝස්ටුවක පල වී තිබුණි. ඒ මේ යානා ඉතා පැරණි ඒවා නිසා දෝෂවලට ලක්විය හැකි බවයි. ඒ පිළිබඳවද මතයක් පළ කළ නොහැකි වන්නේ සිය ගුවන් යානා නඩත්තුව හා ඒවායේ ස්වභාවය ගැන මනාව දන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වන බැවිනි. එහෙත් මේ අනතුරෙන් සිදු වූ පාඩුව තක්සේරු කළ යුතු වන්නේ අහිමි වූ මානව සම්පතට ප්‍රමුඛත්වය දෙමිනි. ඊට හේතුව පළපුරුදු ගුවන් නියමුවෙක් බිහි කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීමයි. ගුවන් නියමුවෙකුගේ ප්‍රවීනත්වය මනින එක් සාධකයක් වන්නේ ගුවනේ ගත කල කාලය පැය ගණනින් දැක්වීමයි. ඒ අනුව  අහිමි වූ නියමුවන් කාලය සමග පරිණත වූ  විශේෂඥයින්ය. යුද්ධය පැවති වකවානුවේ සහ ඉන් අනතුරුව පවා සිය සේවා අත්දැකීම් තුළින් ඔවුන් අත්කරගත් ප්‍රාගුණ්‍ය  මිනීම පහසු නොවේ. ගුවන් හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අහිමි වූ මේ නියමුවන් දෙදෙනා ඉතාම මානවවාදී දක්ෂ හා කෘතහස්ත නියමුවන් දෙදෙනෙකි. සහායක නිලධාරීන් දෙදෙනාද මනා සේවා වාර්තා ඇත්තවුන් ය.

අනතුරට ලක් වූ වයි 12 යානය පිළිබඳ තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කරන්නට ගුවන් හමුදාව කටයුතු කරනු ඇත. මේ යානා විශේෂය 80 දශකයේ කරළියට ආ පුහුණු හා අභ්‍යන්තර මගී ප්‍රවාහන, නිරීක්ෂණ මෙන්ම ඇතැම් රටවල් සීමිත යුධ මෙහෙයුම් සඳහාද භාවිතා කරන්නකි.  වයි 12 හාබින් සැහැල්ලු ගුවන් යානය පින්යින් නැතිනම් යුන් 12 යනුවෙන් හැඳින්වෙන චීන නිෂ්පාදනයකි. හාබින් ගුවන් යානා නිෂ්පාදන සමාගම නිපද වූ එය එන්ජිම් ද්විත්වයක් සහිත සැහැල්ලු යානාවක් වීම විශේෂත්වයකි. 1980 නිපදවන ලද වයි 11 යානයේ සංවර්ධන කටයුතු වයි 12 යානය කරළියට පැමිණීමට මුල් විය. යළි සැළසුම් කළ තටු යුවල ඇතුළත්ව නවීකරණය කරන ලද අංග ගණනාවක් වයි 12 යානයට එක් කරන්නට නිෂ්පාදකයෝ ක්‍රියා කළහ. පසුව නිපද වූ වයි 12 02 යානාව මුලින්ම නිපද වූ වයි 12 01 යානයට වඩා බලවත් එන්ජින් ක්‍රියාකාරීත්වයකින් යුක්ත වීම කැපී පෙනේ. එහි මුල්ම පියාසැරිය වාර්තා වෙන්නේ 1984 පෙබරවාරි මාසයේ සිදු වූ බවයි. කිලෝ ග්‍රෑම් 5700 ක බර උසුලාගෙන පියාඹන්නට පුලුවන් මේ යානයක නියමුවන් දෙදෙනාට අමතරව මගීන් 17 දෙනෙකු ගමන් කිරීමේ පහසුව තිබේ. එම නිසා එය භාවිතා කර ඇත්තේ සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානයක් ලෙසය. සංවර්ධිත ලක්ෂණ ගණනාවක් ඇති එහ නවතම යානය වයි 12 එෆ් යනුවෙන් හැඳින් වේ. එවැනි යානාවක් මුලින්ම පියාසර කර ඇත්තේ 2010 වසරේ බව චීන වාර්තාවලින් අනාවරණය වේ.  දැනට හමුදාමය කාර්යයන් සඳහා වයි 12 යානා භාවිතා කරන රටවල් අතර කාම්බෝජය, චීනය, ජිබුටි, එරිත්‍රියා, ඝානා, ගයනාව, ඉරානය, පකිස්ථානය හා ශ්‍රී ලංකාවද වේ. පසුගියදා අනතුරට ලක්වූයේ මෙරට ගුවන් හමුදාවට අයත් 1984 දී මුලින්ම නිපදවා ඇති වයි 12 . 02 යානාවකි.  චීනය, බංග්ලාදේශය, මොන්ගෝලියාව, ලංකාව, නේපාලය, පකිස්ථානය වැනි රටවල් මේ යානාව සිවිල් කටයුතුවලටද භාවිතා කරන බව වාර්තා වේ. අත්තටු පරාසය ආසන්න වශයෙන් මීටර් 17 ක් වන මීටර් 15ක් දිග මේ යානාවක් මුලින්ම අනතුරට පත් ව ඇත්තේ 1993 ලාඕස් හීදීය. මිහිදුම නිසා ගස්වල පැටලී සිදු වූ එම අනතුරෙන් 18 දෙනෙකු මරණයට පත්ව තිබේ. දැනට මාරක අනතුරු 14ක් වාර්තා වී ඇති අතර 1997 ජනවාරි 20 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 CR-851 යානය පලාලි හී ආවේක්ෂණ මෙහෙයුමකදී අනතුරට පත්ව නියමුවන් ඇතුළු සිව් දෙනෙකු මරණයට පත් වූහ. වයි 12 නවතම අනතුරද මුල්ම අනතුර මෙන් ගසක පැටලී සිදුවන අතර ඒ මිහිදුම් විරහිත කාලගුණයක ලංකාවේ හපුතලේදී ය.

ලසන්ත ද සිල්වා  

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *