හදිසි ගින්නෙන් වතු නිවාස රැසක් විනාශයි
තලවකැලේ ලිඳුල පොලිස් වසමට අයත් බඹරකැලේ වත්තේ මැද කොටසේ වතු නිවාස පේලියක ඊයේ (10) රාත්‍රී 10.30 ට පමණ ඇතිවූ හදිසි වතු නිවාස 24 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇතැයි සැකකරන බව ලිඳුල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසීය. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර අවතැන්වූ පවුල් 24 කට අයත් සමාජිකයන් 60 දෙනෙකු තාවකාලිකව එම වතුයායේ ප්‍රජා ශාලාව වෙත යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය, වටිනා ලියකියවිලි සහ පාසල් ළමුන්ගේ පෙළපොත් ඇතුළු උපකරණ සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශවී ඇත. ලිඳුල පොලිසියේ නිලධාරින්,වතු කම්කරුවන් සහ වතු පාලන අධිකාරිය එක්ව පැය තුනකට ආසන්න කාලයක් තුළ මහත් පරිශ්‍රමයක් දරා ගින්න සෙසු නිවාස කරා පැතිර යාම පාලනය කිරීමට සමත්ව තිබේ. එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස කරා ක්ෂණිකව පැතිර ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. කඳු මුදුනේ පිහිටි වතු නිවාස පේලිය ආසන්නයට ගිනි නිවන රථ යාමට නොහැකි නිසා ගින්න පාලනය කිරිම තරමක් ප්‍රමාදවූ බවත් ගින්නෙන් සිදුව තිබෙන හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් ලිඳුල පොලිස් ස්ථානාධිපතිවරයා කීය. ගින්නෙන් අවතැන් වුවන්ට අවශ්‍යය ආහාර පාන සහ යටිතල පහසුකම් ලබා දීමට වතු පාලන අධිකාරිය කටයුතු කර තිබේ.