හදවත් ඇත්තවුන් සසල කළ ජපුර සිදුවීම

නවක සිසුන් පිළිගැනීම සඳහා පැවති උත්සවයක් යැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කරන, ඊනියා උත්සවයකැයි හුවා දක්වනමුත් නවක වධ සිදුවීමක් යැයි සෙසු පාර්ශව පවසන සිදුවීමකදී හිසෙහි ටයරයක් වැදී අසාධ්‍ය තත්ත්වයට පත් වූ 20 හැවිරිදි පසිඳු හිරුෂාන් සිසුවා සිය ජීවිතය අත්හළ බව සඳහන් වාර්තා සමාජ මාධ්‍යයන්හී හුවමාරු වෙනවා. එහෙත් තවමත් ස්වාධීන මූලාශ්‍රයකින් එම පුවත සත්‍යදැයි තහවුරු ව නැහැ.
එහෙත් හිසෙහි බරපතල අභ්‍යන්තර හානි නිසා පැය 07ක ශල්‍යකර්මයකට භාජනය කළ එම සිසුවා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් බව වෛද්‍යවරු පවසා තිබුණා.
මව අහිමි සිසුවාගේ පියා සහ සොහොයුරා පවසා තිබුණේ පසිඳු හිතාමතා කළ ඝාතනයක් ගොදුරක් බවයි. එහෙත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසා තිබුණේ මෙම සිදුවීම අත්වැරැද්දක් බවයි. මීට පෙරත් මෙරට විශ්වවිද්‍යාල කිහිපයකින්ම මෙවැනි ඝාතන හා පහරදීම් වාර්තා වූ අතර නවකවධය ඉවසිය නොහැකිව දිවි තොරතරගත් සිසුන් පිළිබඳවද වාර්තා වෙනවා. ඇතැම් සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුවද ඒවාට ඇතුළත් නොවන්නේ අමානුෂික නවක වධය නිසා. මෑත කාලයේ අවස්ථා කිහිපයක රුහුණ, සබරගමුව වැනි සරසවිවලින්ද අමානුෂික සිදුවීම් වාර්තා වූ අතර ඇතැම් අවස්ථාවක නවක සිසු සිසුවියන් පිළිකුල් සහගත ලිංගික හිංසනයට භාජනය වී තිබුණා. බොහෝ විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ බව සියලු දෙනා දන්නා නමුත් මේ දේශපාලන ව්‍යාපාර දෙකම නවක වධය නවතාලීම කෙරෙහි කිසිදු පියවරක් නොගැනීම ජනතාවගේ පිළිකුලට භාජනය වී තිබෙනවා.