හක්ගල දාරයෙන් අඹේවෙලට
දවසකට පිටි මුට්ට හත අටක් ඇනෙන බව නිසැකය. පොල් බෑවක් තරමට ගුලි ගැසෙන මෝලිය අල්ලා ඇනූ පිටි බෝල තෙල් ඉලූ තුනී තහඩුව මත හිස් අරක්කු බෝතලයකින් තෙරපී පැතලිව අඩි දෙකක පරිධියෙන් යුතු රොටියක් තැනෙයි. තැටිය මත පදමට කරව උණුවෙන් බා ගෙනෙන රොටී ගිල දැමීමට තෙල් දැමූ පරිප්පු, මිරිසට ඉවූ බිම්මල් සහ කටට සැර, කරපිංචා හා සුදු ලූනුද දැමූ ලුණුමිරිස් තලියක් ද බෙදනු ලැබේ. දිනෙක කවුරුන් හෝ පොඩි මල්ලිගේ කඩයට ගෙවදින්නේ රොටී ගැට පොලොස් ඇඹුලක රහ මුසුව භුක්ති විඳීමටයි. මේ කැප්පෙටිපොල, බැලුම්ගල පොඩි මල්ලිගෙ රොටී කඩයයි. ඉස්සරට වඩා පොල් රොටියේ පොල් අඩුව තිබුණද වැලිමඩ, නුවරඑළිය පාරේ අතරමඟ ඇති ජනප්‍රියම රොටී කඩය එයයි. ස්කූටි ගමනේ දළ නැග්මට පෙර රොටියක හා ඉඟුරු කහට කෝප්පයක රස බලා නිවෙන්නට ඇති කදිම නවාතැන් පොළ එයයි. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ ඉහළ උන්නත කලාපය බටහිර බෑවුම හා මැද තැන්න මුණ ගැසෙන කලාපය ඇරඹෙන්නේ කැප්පෙටිපොළ බැලුම්ගල සිට හග්ගල දක්වා දිවෙන කලාපයෙනි. මැදැති ගැඹුරු දෙණිය ඔස්සේ හු හඬ නඟමින් හග්ගල ඉස්මත්තේ සිට හමන සුළඟ ඉනිබ්බේ වන පළාතට ඌව නම පට බැන්දේය. වසරේ එක් ඍතුවක බෙහෙවින් ප්‍රචණ්ඩව හමන සුළඟට මුලින්ම සම්මුඛ වන ගම පාලුගම නම් වූයේ අද ඉන් තරමක රැකවරණයක් යෝධ යුකැලිප්ටස් වගාවකින් ලබන්නේ ය. මේ ඉසව්ව 1818 කැරැල්ලේ දී ද පරිහාණියට ලක් වූ කලාපයක් වන්නේ කැරළිකරුවන් මෙන්ම සුද්දන් විසින්ද පිහිටවනු ලැබූ බලකොටු නටබුන් වලින් යුක්ත ය.
පොඩි මල්ලිගේ රොටී කඩයෙන් ක්ෂුධාවද විඩාවද නිවුණු අපි හග්ගල දෙසට ස්කූටියේ කුර ගාද්දි තේජවන්ත කඳු ත්‍රිත්වය ඉදිරියෙන් දිස් විය. පසෙකින් කඳුකර තෙත් සදාහරිත වන බිම් මැදින් එසවුණු සඳතැන්නයි. මේ සැමුවෙල් බේකර් ගේ ප්‍රකට දඩ කෙළි කලාපයයි. ඔහු මේ බිමේ සරමින් බොහෝ ගෝනුන් බිම හෙළන්නට ඇත. හග්ගල හා බැලුම්ගල අතර ඌවේ අවසානය සටහන් කරන භෞම කලාපයේ වැඩිමනත් ජීවත් වන්නෝ මුස්ලිම් වැසියෝය. පාදිනාවෙල හා බොරගස් දෙගම මුස්ලිම්වරු ගොවිතැනෙහි කෙළ පැමිණියෝ බැවින් එහි බොහෝ උඩරට එළවලු බෝග වගා කරනු ලැබේ. පාර දෙපස ඇතැම් තැනක සිරිලක පෙයාර්ස් හා ස්ට්‍රෝබෙරිද විකුණන වෘද්ධ මුස්ලිමුන් හෙට්ටු කිරීමට ඔට්ටුය. පරාට සමඟ බාබත් හෝ උණු හරක් මස් සමෝසා කෑ හැකි තැන් මෙහි තිබේ.
තේජවන්ත හක්ගල
ඌවට, තදින් හමන සුළඟෙහි හූ හඬ නිසා නම් ලැබුණු බවට ප්‍රවාදයක් ප්‍රචලිතය. මේ සුළං දහරා වේගවත්ව හමන්නට හේතුව වන්නට ඇත්තේ ගැඹූරු දෙණිය ඉදිරියෙන් එය අවුරමින් නැඟී සිටින තේජවන්ත හග්ගල ත්‍රිත්ව කඳු සිරස නිසා වන්නට ඇත. හග්ගල වඩා ජනප්‍රිය එනමින් ඇති උද්භිද උද්‍යානය නිසා ය. එහි ජපානය විසිතුරු කරන සකුරා මල් ද පිපේ. සුප්‍රකට උද්‍යානයෙන් ඉහළ ඇත්තේ හග්ගල දැඩි රක්ෂිතයයි. යාල කලාප අංක දෙක සහ රිටිගල හැරුණු කළ දැඩි ස්වභාව රක්ෂිතයක් ලෙස නම් කර ඇති මේ බිමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඍජු අවසරයෙන් තොරව පිවිසීම නීති විරෝධීය. කෙසේවෙතත් එවැනි බිමක් තව දුරටත් ගවේෂණයට ලක් වීම ස්වාභාවික විද්‍යාවන්ගේ පෝෂණයට හේතු විය හැකිය. මේ තේජවන්ත හක්ගලද රාවණ මිත කතාව හා සම්බන්ධ වන අතර උද්භිද උද්‍යානය ආසන්න ගම් පියස සීතාඑළියයි. හක්ගලට පැමිණෙන අතරමඟ සීතාව තමන්ගේ පතිවත පිළිබඳ දිවුරුම් දුන් දිවුරුම්වෙලද හමු වේ.
හක්ගල කඳුවැටිය පසෙකින් ඉතා රමණීය භූමි දර්ශන දකිමින් යා හැකි මාර්ගය කෙළවර වන්නේ අඹේවෙල කඩමණ්ඩියෙනි. බොහෝ පැරණි තේ වගාවන්, ගොවි ගම්මාන හා වතු පේලි නිවාසද පසුකර යන මග ඉහළින් ඇත්තේ රක්ෂිත වනයයි. ඇතැම් තැනක රක්ෂිතය තුළට කා වැදුණු හෙළි පෙහෙළි කළ නෙරුම් වේ. ඒවා අර්තාපල් වගාවෙන් උපයා ගත හැකි මුදල සළකා කළ සාහසික අපරාධද වේ.
ඌව ද්‍රෝණියේ අසිරිය
සමස්ත වැලිමඩ සානුවම සහ ඈත නමුණුකුල කඳුවැටිය දක්වාද, පසෙකින් ගොන් මොල්ලිය කඳුු සිරස දක්වාද විහිද යන චමත්කාරජනක භූ දර්ශනය එක බැල්මෙන් නැරඹිය හැකි තැන් ගණනක් අඹේවෙල යන අතරමඟ හමු වේ. හමන සුළඟ බෙහෙවින් සිසිල් ය. කුරුලු කූජනයක් හෝ දිය කඳුරක සිරි සිරිය වැනි ප්‍රියතාවක් මිස සවනට හිරිහැරයක් වන කිසිදු ඝෝසාවක් එහි නැත්තේ ය. එවැනි තැනක නතරව අඩ පැයක් හෝ මිනිත්තු ගණනාවක් රැඳී සිටීම නෙතටද සිතටද සුවයකි. ඈතින් පෙනෙන වගා බිම්වල හෙල්මලු ඉමහත් චිත්තාකර්ශනීය දසුනක් වුවද ඒවා තැනෙන්නට වනය හෙළි වන්නට ඇතැයි සිතන විට උපදින්නේ සොවකි. එහෙත් ලංකාවේ එළවලු අවැසිතාවෙන් වැඩි පංගුවක් මේ බිම්වලින් සම්පාදනය වන අතර දහස් ගණනකගේ ජීවනෝපාය වී ඇත්තේ එළවලු ගොවිතැන හා ආශ්‍රිත සේවාවන් ය. නිසල රැයක මෙවැනි තැනක හිඳ නරඹන දර්ශනය සිය දහස් ගණනක් තරු එළි මහ පොළව සිප ගන්නා විසිතුර ලබා දෙන්නේ දැල්වෙන විදුලි බුබුලු හෙයිනි. අපි කුඩා දිය කඳුරක් අසබඩ නැවතී ඈත විසිතුරු නැරඹීමු. මඟ පසෙක බිම් බිත්තියේ පිපුණු වන මල්ද වේ. ඒවා අතිශයින් පියකරුය. හුදෙකලා දිය දහරක් අහළ කලු ගල් කැටයක් තැන්පත් කර ඒ මත සුණු පිරියම් කර තිබෙන්නේ දෙවියන් කෙරෙහි භක්තිමත් වතු කම්කරුවන් ය. අතරින් පතර මඟ යන්නෙකු එවැනි තැනක නැවතී නමස්කාර කරනු දැකීමට පුලුවන් ය.
අඹේවෙල සිරිය
හක්ගල මායිමේ පටු මඟෙහි දඟර වංගු පසුකර එළඹෙන අඹේවෙල ටවුමක් නොව කුඩා කඩමණ්ඩියකි. මුලින්ම ඇස ගැටෙන්නේ එහි වන පාලු දුම්රිය නැවතුමයි. දෛනික දුම්රිය ගමන් වාර හත අටකදී බදුලු කොළඹ දුම්රිය හෝ අතරින් පතර එය පසුකර යන බඩු කෝච්චියක් නිසා මිස වෙනත් කාර්යබහුල වන්නට නියමිත හේතුවක් නැති මේ දුම්රිය නැවතුම නිස්කාන්සුවේ ලැග සිටී. ලංකාවේ මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි පටිටියපොළ දුම්රිය නැවතුම පිහිටා ඇත්තේ අඹේවෙලට ඔබ්බෙනි. දුම්රිය නැවතුමට මෙපිට කඩයකින් කිරි වීදුරුවක් හෝ කෝපි කෝප්පයක් බී ගත උණුසුම් කර ගැනීමට ඉඩ තිබේ. සැරියෙකු නම් අනතුරුව සුප්‍රකට කිරි ගව ගොවිපොළ නැරඹීමට යාම හෝ උඩරට දුම්රිය මාර්ගයේ මඳ දුරක් ඇවිද යාමේ සුඛ සැරිය තෝරා ගනී. දේශජ කිරි කර්මාන්තයේ අග්‍රය නැරඹීමට ඔබට අවකාශ හිමි වන්නේ අඹේවෙල පැමිණි ගමනකදී ය. අවැසිනම් නැවුම් කිරි පානයට හෝ යෝගට් නැතිනම් චීස් කන්නටද පුලුවන. දුම්රිය මගට සමාන්තරව අර්තාපල් වැනි බෝග වැවීම සඳහා හෙළි කළ පටු බිම් තීරුද අයිස් වතුර ගලන දොළ පහරද චිත්තාකර්ශනීය වේ. ඒවායේ ශ්‍රම ශක්තිය පැළ කරන්නේ දිළිඳු දෙමළ හා සිංහල කම්කරුවෝ ය. මේ වගා බිම් බොහොමයක හිමිකරුවෝ පිටස්තර කාසි කාරයෝ ය.
දුම්රිය නැවතුම පසුකර මද දුරක් ඇවිද ගිය පසු අතිශය රමණීය බ්ලැක් පූල් ජලාශය හමුවේ. එය ගැඹූරු නිම්නයක් පුරවා තැනූවක් හෙයින් පටු සහ දිගැටිය. වෙනත් කිසිදු ජලාශයක මෙන් මෙහි නාන්නට පිහිනන්නට යොමු වන කිසිවෙකුත් නැත්තේය. අඳුරු හා ගැඹුරු දියෙන් යුක්ත වන බැවිනි. ජලාශය වටා විචිත්‍ර මීවන ශාඛ වර්ග රාශියකි. එතැන රජු, ගිනිහොට නමින් හඳුන්වන ලංකාවට ආවේණික මීවන වර්ගයයි. ඇතැම් වගා කරුවන් අල්ප දැනුම නිසා මේ ගිනිහොට නමැති නැසීම තහනම් මීවන විශේෂයද කපා වනසා දමන බව දැනගන්නට ලැබුණි.
මේ ජලාශය බෙහෙවින් නිසංසලය. ගුප්තය. එබැවින් ඒ හා ගතින් මුසුවන්නට උත්සාහ නොකර සිතින් පමණක් මුසු වන්නට ඔබට ඇරයුම් කරමි.