සේරඇල්ල ගිලී ගිය මංගල සිහිනය

විවාහයට පෙර ඡායාරූප ගැනීමට ගිය පෙම්වතුන් යුවළක් මාතලේ ලග්ගල “සේර ඇල්ලේ“ දියවලකට ඇද වැටීමෙන් පෙම්වතා මියගොස් ඇති බව ලග්ගල පොලිසිය කියයි. පසුගිය 28දා පස්වරුවේ සිදු වූ අනතුරෙන් මෙසේ මියගොස් ඇත්තේ කුරණෑගල පන්සිළුගම පදිංචි ශිරන්ත සංජය රත්නසුරිය නැමති 27 හැවිරිදි තරුණයෙකි.
ශිරන්ත, ඇගේ පෙම්වතිය වන දිල්මි සමග විවාහ වීමට නියමිතව තිබුණේ ලබන 14 වනදා ය. මේ යුවල සිය මාපියන්, ඥාතීන් සහ ඡායාරූප ශිල්පියා සමග “සේර ඇල්ල“ අසළ ට පැමිණ තිබුණේ සිය මංගල උත්සවයට පෙර ඡායාරූප කිහිපයක් ගැනීම සදහා බව පොලීසිය පවසයි.
එසේ පැමිණි ඔවුන් දෙපල ඡායාරූපයකට පෙනී සිටින අතරතුර සේර ඇල්ලෙහි දිය පිරුණු වළකට ඇද වැටී ඇති අතර එම අවස්ථාවේදී ඥාති සොහොයුරෙකු විසින් තරුණිය බේරා ගෙන ඇති නමුත් ශිරන්ත ව බේරා ගැනීමට කිසිවෙකුටත් නොහැකි ව තිබේ.
ලග්ගල පොලිසිට සිද්ධිය දැන්විමෙන් පසු 29දා උදෑසන නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කළ අතර පස්වරුවේ මෘත ශරීරය සොයා ගැනීමට කිමිදුම්කරුවන්ට හැකිවු බව පොලිසිය කියයි.
නකල්ස් කඳු වැටියේ අසිරිය දෙගුණ කරන “සේර ඇල්ල” සුන්දර නිසාම මංගල ඡායාරූප ශිල්පීන් මෙම ස්ථානය නිරන්තරයෙන් ඡායාරූප ගැනීමට තෝරා ගත්තද ඇතැම් අය අනාරක්ෂිත බව නොතකා කටයුතු කිරිම නිසා මෙවැනි අවාසනාවන්ත සිදුවීම් උද්ගත වේ.
