සුව දිවියට බුදු මග

 සුව දිවියට බුදු මග

සැබැවින්ම, නූතන විද්‍යාව ගැනත්, බුදු දහම ගැනත් අල්ප දැනුමෙන් යුතු බොහෝ දෙනා විසින් බුදු දහම සහ නූතන විද්‍යාව සසඳන්නට සහ ගැට ගසන්නට තැත් දැරීම, මා වැනි දුහුනෙකුට නම් පෙනෙනුයේ විහිළුවක් ලෙසිනි. එහෙත්, බුද්ධ දේශනාවේ එන සමහර පිළිවෙත්, සිද්ධාන්තයන් සහ පැහැදිලි කිරීම් නූතන විද්‍යාවට, වෙසෙසින්ම වෛද්‍ය විද්‍යාවට එක් කරගැනීමට යොමු වීම පිළිබඳව නම්, ක්‍ෂෙත‍්‍රයට සම්බන්ධ වූවකු ලෙස මම සතුටු වෙමි.

එවන් බොහෝ දෑ අතුරින් අතිශයින් වැදගත් කරුණක් වනුයේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‘සෞඛ්‍යය’ යන්නට කළින් ලබා දෙනු ලැබ තිබුණු අර්ථකථනය සංශෝධනය කිරීමයි. සෞඛ්‍යසම්පන්නව සිටීම යනු, රෝගාබාධ වලින් මිදී සිටීම පමණක් නොව, පූර්ණ ලෙස කායික, මානසික සහ සමාජයීය යහපැවැත්මෙන් යුතු වීම ලෙස මුලින් හඳුන්වා දෙනු ලැබුවද, 1980 දශකයේ අගභාගයේ  සිට, අධ්‍යාත්මික යහපැවැත්ම (Spiritual wellbeing) නමැති අංගයද එයට එක් කරනු ලැබිණි. (මෙම යෝජනාව ලෝක සෞඛ්‍ය  සංවිධානය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ, ජනගහනයෙන් සියයට 90 ද ඉක්මවූ බෞද්ධ ජනතාවක් වෙසෙන තායිලන්තයේ කීර්තිමත් වෛද්‍යවරයකු විසිනි.)  මේ වනවිට, අධ්‍යාත්මික යහපැවැත්මෙහි සුවිශේෂී වැදගත්කම ලොව පුරා සංවාදයට ලක්වන තේමාවක්ව තිබේ. සැබැවින්ම, පුද්ගලයකුගේ සෞඛ්‍යසම්පන්න බව තීරණය කෙරෙන ප‍්‍රමුඛතම සාධකය වනුයේ ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාත්මික නැඹුරුවේ ශක්තියයි. එනම්, පුද්ගලයකුගේ කායික, මානසික සහ සමාජයීය චර්යාවන් තීරණය වනුයේ ඔහුගේ හෝ ඇයගේ ජීවන දැක්ම, පරමාර්ථ සහ අගය කරන දෑ ඇතුළු අභ්‍යන්තරික ඒකාග‍්‍රතාවන් අනුවය.

විසිවන සියවසේ අගභාගයේ පටන්, සමස්ත ලෝක ප‍්‍රජාවේ අවධානයට යොමු වෙමින් පවතින බෝ නොවන රෝග ව්‍යාප්තියත්, එමගින් ඇතිවන සමාජ හානියත් මුළුමනින්ම පාහේ, නොසන්සිඳෙන තෘෂ්ණාවෙන් මුලාවූ මිනිසුන්ගේ අතිධාවනකාරී දිවිපැවැත්මේ විපාකයන් බව නොදන්නා අයකු නැත්තේය. එහෙත්, සාම්ප‍්‍රදායිකව හෝ අනවබෝධයෙන් හෝ බොහෝ දෙනෙකු තවමත් යොමුව සිටිනුයේ, ආහාර පාලනය සහ බර අඩු කරගැනීම ඇතුළු කායික යහපැවැත්මට උපකාරීවන කරුණු පිළිබඳව පමණකි. සැබැවින්ම, ඒ වනාහි කඩා වැටෙන්නට යන ගසක කරටියෙන් හෝ කඳෙන් අල්ලා මුක්කු ගැසීමක් වැනිය. ගස ඉදිරී නොවැටෙන්නට නම්, ගසෙහි මුල සවිමත් කළ යුතුය. එම මුල පුද්ගලයාගේ අධ්‍යාත්මික යහපැවැත්මයි. පුද්ගලයකු ජීවිතයේ සැබෑ පරමාර්ථය හඳුනාගත් විට, නිරායාසයෙන්ම අපිස් දිවියකට යොමුවනු ඇති අතර, භෞතික සම්පත් කෙරෙහි තෘෂ්ණාවෙන් සිදුකෙරෙන නොනවතින ජීවන අරගලයේ නිසරු බවද වටහා ගනී. පවුල, රැුකියා ස්ථානය සහ සමාජය තුළ සමගියෙන් හා සහයෝගයෙන් වෙසෙමින්, දයාව, කරුණාව, අවංක බව වැනි උසස් මානව ගුණාංගයන් වර්ධනය කර ගැනීමෙන්, සමාජයේ ගරු බුහුමනට ලක්වන්නකු වීමට ඔහුට හෝ ඇයට හැකියාව ලැබෙයි. එයම, නිරෝගී බවට, මානසික සහ කායික යහපැවැත්මට හේතුකාරක වෙයි.

මෙසේ කායික, මානසික සහ සමාජයීය වශයෙන් පරිපූර්ණ යහපැවැත්මක් සහිත තැනැත්තා නිසැකවම, තෘප්තිමත්, පලදායී සහ සමාජයට වැඩදායී පුද්ගලකු වන්නේය. ජීවිතය පිළිබඳ ඔහුගේ හෝ ඇයගේ දැක්ම වඩාත් පැහැදිලි බවට පත්වීමෙන්, තමනට සහ අන් අයට යහපත් වන දෑ පමණක් සිදුකිරීමටද, අට ලෝ දහම පිළිබඳව උපේක්‍ෂාවෙන් බැලීමටද හුරු වන්නේය. එහෙයින්ම, (මෙලොව සහ පරලොව* ජීවිතය සාර්ථක කර ගන්නේය.

උස් හඬින් පන්සිල් ගැනීමත්, සුදුවත් හැඳ පන්සල් යාමත්, වයස්ගත වන විට එලොව සඳහා පින් රැුස් කිරීිමට දැඟලීමත් වෙනුවට, බුදු දහම සරලව හඳුනාගෙන, ඒ අනුව දිවි ගෙවන්නට (නාමික) බොදුනුවන්ගේ සිත් යොමු කරවීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ.

බුදු දහම සියල්ලෙහි අගුණ (දුක) පමණක් පෙන්වන ආගමක් යැයි සිතන සහ කියන පිරිස් ද, බුදු දහම මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට සහ පරලොව යහපත් කර ගැනීමට වෙන් වෙන්ව උපදෙස් දෙන දහමක් බව ප‍්‍රකාශ කරන පිරිස් ද වෙති. එහෙත්, සැබෑව නම්, බුදු දහමින් සිදු වනුයේ එක් නිශ්චිත ඉලක්කයක් වෙත පුද්ගලයා යොමු කරවීමයි. නිවන නම් වූ එය, පුද්ගලයකු මරණින් මතු පිවිසෙන සුවිශේෂී ස්ථානයක් නොව, මෙලොව සිටියදීම ඇති කරගන්නාවූ ජීවිතාවබෝධයකි. බුදු දහම යනු, සැකෙවින්, එකී පරමාවබෝධය ලබා ගැනීම සඳහා පුද්ගලයකු විසින් පිළිපදිනු ලැබිය යුතු, වටහා ගැනීමෙන් සහ  ඕනෑකමෙන් ඉටු කරනු ලැබිය යුතු ප‍්‍රතිපත්ති සහ කාර්යයන් පිළිබඳව තර්කානුකූල පෙන්වාදීමකි. 

නොයෙක් නම් සහ තේමා උපශීර්ෂාදියෙන් බෙදා වෙන්කොට දක්වනු ලැබ ඇති නමුදු, ඒ මාර්ගය අන් කවරක්වත් නොව, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙම මාර්ගයේ ගමන්කොට නිර්වාණාවබෝධය ලැබීම පුද්ගලයකුගේ ජීවිත කාලය තුළ ඉටු කරගැනීමේ ඉඩකඩ, ඔහුගේ හෝ ඇයගේ ශක්‍යතාව, වීර්යය, කැපවීම, ඔහු හෝ  ඇය මෙලොව ජීවිතය ආරම්භ කරන අවස්ථාවේ එකී මාර්ගයේ රැුඳී සිටි ස්ථානය (එනම්, පූර්ව භවයන්හිදී ළඟාවී සිටි ස්ථානය) වැනි මූලික කරුණු මත තීරණය වෙයි. එහෙත්,  ඕනෑම පුද්ගලයකුට, ජීවිතයේ  ඕනෑම අවදියක හෝ අවස්ථාවක, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිස, එය පිළිපැද, එහි යහපත් ප‍්‍රතිපල ලබාගත හැකිය.

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි එන ප‍්‍රතිපදාවන්ගෙන් අඩක්ම (සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම) පුද්ගලයකුගේ යහපත් කායික චර්යාවනට අදාළය. තමාටත් අන් අයටත් හානිකර නොවන අයුරින් ජීවන චර්යාව පවත්වා ගැනීම (අපේක්‍ෂිත ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින්) ශීලය හෙවත් සිල්වත් බවයි. පුද්ගලයකු සිය කායික, මානසික සහ සමාජයීය යහපැවැත්ම තහවුරු කරගැනීම සඳහා පිළිපැදිය යුතු මූලික කරුණු (හිතකර සෞඛ්‍ය පුරුදු) ලෙස නූතන වෛද්‍ය විද්‍යාවෙන් පෙන්වාදෙනු ලැබ ඇත්තේද, පමණ දැන, රසයට ගිජු නොවී, අහිතකර නොවන ආරක්‍ෂිත ආහාර අනුභවය, නිතිපතා කායික ව්‍යායාමයෙහි යෙදීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීම, යහපත් ලිංගික ජීවිතයක් පවත්වාගැනීම, මානසික ආතතිය කළමනාකරණය කරගැනීම ඇතුළු දෑය. දියවැඩියාව, හෘදරෝග ඇතුළු බෝ නොවන රෝග වළක්වා ගැනීම සහ පාලනයටත්, මත්ද්‍රව්‍ය මූලිකව ඇතිවන මානසිකාබාධ, ප‍්‍රචණ්ඩත්වය හා අනතුරු වලින් ආරක්‍ෂා වීමටත්, HIV ආසාදනය ඇතුළු ලිංගාශ‍්‍රිත රෝග හා වෙනත් ගැටළු වළක්වා ගැනීමටත්, මෙවන් සරල, අල්පේච්ඡ සහ වගකීම් සහගත යහපත් ජීවනරටාවක් අනුගමනය කළ යුතුමය. එහි නිවැරදිව යෙදෙන්නා කිනම් ලබ්ධිකයකු වුවද, ඔහු හෝ ඇය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ශීල ප‍්‍රතිපදාවට අදාළ චර්යාවන් පුරන්නෙකු වෙයි.

යථා බුබ්බුලකං පස්සේ – යථා පස්සේ මරිචිකං ඒවං ලෝකං අවෙක්ඛන්තං – මච්චුරාජා න පස්සති

(ලෝකය දිය බුබුළක් ලෙසින්ද, මිරිඟුවක් ලෙසින්ද නුවණින් දකින්නා මරුවාට නොපෙනේ: හෙවත් මරුවා එබඳු තැනැත්තා නොදකී) ධම්මපදය – ලෝක වග්ගය 

සමාධිය යනු, සරල බසින් දැක්වුවහොත්, චිත්ත එකාග‍්‍රතාවයි. එයින් හටගන්නා ශක්තියයි. සති හෙවත් සිහිය නැමැති මානසික ස්වභාවය බටහිර මනෝ වෛද්‍ය විද්‍යාවේද නිරන්තර අවධානයට සහ පර්යේෂණ වලට ලක්ව ඇති දෙයකි. බුදුන්වහන්සේගේ මූලික ඉගැන්වීමක් වන ‘එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීම’ නමැති මානසික චර්යාව, Mindfulness Exercise  නමින් බටහිර වෛද්‍ය විද්‍යාවේද අතිශයින් පලදායී (චර්යාමය) ප‍්‍රතිකාරයක් ලෙස බොහෝ කායික සහ මානසික රෝගාබාධ සඳහා යොදවාගනු ලබන්නකි. මුළුමහත් ලෝක ප‍්‍රජාවම අඩුවැඩි වශයෙන් ගොදුරුවී සිටින සෞඛ්‍ය ගැටළුව වන්නාවූ මානසික ආතතිය සහ එයට ද්වීතීයකව ඇතිවන රෝගාබාධ සහ සමාජයීය ගැටළු අවම කරගැනීම පිණිස, සම්මා සතිය සහ සම්මා සමාධිය හුරුකරවීම අතිශයින් පලදායී වෙයි.

ප‍්‍රඥාව ලෙස හැඳින්වෙනුයේ, පුද්ගලයකු විවිධ කරුණු පිළිබඳව බුද්ධියෙන් විමසා බැලීමට පුරුදු වීමෙන් (විදර්ශනාවෙන්) ලබා ගන්නා අවබෝධයයි. මිනිස් මොළයේ මහිමයෙන් මෙලොව ලබා ඇති, ඔබ අප භුක්ති විඳින සියලූ පහසුකම් සහ විස්මිත නිමැවුම්, එසේ බුද්ධිමත්ව විමසා බැලීමෙන්, කරුණු හැදෑරීමෙන් ගොඩ නඟනු ලැබූ දෑ ය. භෞතික දියුණුවෙන් ඔබ්බට ගොස්, ජීවිතය සහ ලෝක ස්වභාවය පිළිබඳ යථාර්ය හෙවත් සත්‍යය ගවේෂණයට යොමු වීමටද ප‍්‍රඥාව වැඩිය යුතුය. නිවැරදි (ජීවන) දැක්ම (සම්මා දිට්ඨිය) සහ නිවැරදි ලෙස ලෝක ස්වභාවය හඳුනා ගැනීමට සිත යොමු කිරීම (සම්මා සංකප්ප), පුද්ගලයකු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව පිහිටුවයි. එයම, ඔහුගේ හෝ ඇයගේ කායික, මානසික, සමාජයීය සහ අධ්‍යාත්මික යහපැවැත්ම තහවුරු කරයි.

එබැවින්, නිරෝගීබව අපේක්‍ෂා කරන පුද්ගලයින් වන අප කළ යුත්තේ, ඉඳහිට රුධිර පීඩනය මැන ගැනීම හා ලේ පරීක්‍ෂා කරවා ගැනීම පමණක් නොව, තමන් මෙතෙක් පැමිණ ඇති මග (ජීවන රටාව) පිළිබඳව නැවත සිතා බලා, නිසි මගට වහ වහා පැමිණීමය. එම නිසි මග, බටහිරින් පැමිණ උගන්වන්නට පෙර, පෙරදිග (ආසියාවේ) ආලෝකය වූ බුදුන්වහන්සේ විසින්, තර්කානුකූල ලෙසත්, සුපැහැදිලි ලෙසිනුත්, බිඳහෙළිය නොහැකි ලෙසිනුත්, සරල හා අනුගමනයට පහසු ලෙසිනුත් අපට පෙන්වා දෙනු ලැබ ඇත්තේය. එහි ඇරඹුම, ජීවිතය සහ ලෝකය පිළිබඳව නිවැරදිව දකින්නට සිත මෙහෙයවීමයි.

වෛද්‍ය බී. එම්. සී. දසනායක

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *