සුරා බදු දන්සැල ඈවරයි

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් සෑම සුරාබදු ස්ථානයක් මගින්ම එම බලප්‍රදේශයේ ජීවත්වන දිළිඳු පවුල් 25 කට අවම වශයෙන් රුපියල් 5000.00 වටිනා වියළි ආහාර මල්ලක් ලබාදීමේ වැඩසටහන අත්හිටුවන ලෙස අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම්,මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම) එම්.ඩබ්ලිව්.කේ දිසානායක මහතා සුරාබදු අධිකරීවරුන් වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

දිවයිනේ සියලුම සුරාබදු කොමසාරිස්වරුන් වෙත සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරායගේ උපදෙස් මත පසුගිය 14 දින අදාළ ලිපිය යොමුකර තිබිණි.

දිවයිනේ සෑම සුරාබදු ස්ථානයක් මගින්ම මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බව ලිපියක් මගින් දැනුම් දී තිබුණත්  ඒ සඳහා කිසිදු මුදලක් දෙපාර්තුමේන්තුව මගින් වෙන්කර නොමැති බවට ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය චෝදනාවක් එල්ල කරනු ලැබුවේ අදාළ මුදල් මත්පැන් බලපත්‍ර හිමියන් ගෙන් ලබා ගැනීම සඳහා ඇතැම් සුරාබදු නිලධාරීන් ඉල්ලීම් කරන බවද පෙන්දා දෙමිනි.

සුරාබදු අධිකාරිවරුන්ගේද සහය ලබා ගනිමින් ක්‍රියාත්මක කළ යුතු මෙම වැඩසටහන සඳහා දිළිඳු පවුල් තෝරා ගැනීම සුරාබදු ස්ථානාධිපතිවරු විසින් සිදුකළ යුතු බව ලිපියේ දක්වා තිබිණි.

හාල් කිලෝ ග්රැම් 10 ක්,සීනි කිලෝ ග්රෑම් 02 ක්,තේ කොළ ග්රෑම් 500 ක්,පාන්පිටි කිලෝ ග්රෑම් 02 ක්,පිරිප්පු කිලෝ ග්රෑම් 02ක්,බී ළූණු කිලෝ ග්රෑම් 02 ක්,මිරිස් කුඩු ග්රෑම් 250 ක්,තුනපහ ග්රෑම් 100 ක්,අල කිලෝ ග්රෑම් 01 ක්,වියළි හාල් මැස්සෝ ග්රෑම් 250 ක්,ලුණු පැකට් 02 ක් මෙම ආහාර මල්ලට අඩංගු විය යුතු බවත් මෙම මස 23 දින පෙරවරු 10.00 ට  මෙම ආහාර මලු බෙදා දී ඊට අදාළ ඡායාරූප තමන් වෙත යොමු කරන ලෙසත් ලිපිය මගින් අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා තිබිණි.

අදාළ වැඩසටහන අවලංගු කරන බව දක්වමින් අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම්,මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම) එම්.ඩබ්ලිව්.කේ දිසානායක මහතා යොමු කළ ලිපියේ මෙසේ සඳහන් වෙයි.

සුරාබදු කොමාසරිස් ජනරාල් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයෙන් බෞද්ධ සංගමය,වෘත්තිය සමිති නියෝජිතයින් සහ නිලධාරීන් කරන ලද ඉල්ලීම් සලකා සියලු දෙනාගේ එකඟත්වයෙන් පොසොන් පොහොය දින කොවිඩ්-19 වසංගතයෙන් අසරණ වී සිටින ජනතාව වෙත වියළි ආහාර සලාකයන් ලබාදීම,පොහොය දින ධර්මදේශනා වැඩසටහනක් හා සියලු ශ්‍රී ලංකා වාසීන්ට සෙත්පති සෙත් පිරිතක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලදි.

මෙම පුණ්‍යකර්මය විධිමත්ව සිදු කිරීමටත් ලබාදෙන පාර්සල් එකම ආකාරයෙන් සකස් කිරීමටත් ගත් එකඟතාව අනුව සලාකයේ අඩංගු කළ යුතු ද්‍රව්‍ය සටහන් කර එවීමටත් මේ සඳහා නිලධාරීන්ගේ දායකත්වය මිස වෙනත් කිසිදු භාහිර පාර්ශවයක දායකත්වයක් ලබා නොගන්නා ලෙසත් ඉතා පැහැදිලිව ජූනි 14 දින පැවැති සාකච්ඡාවේදී සියලු සහකාර සුරාබදු කොමසාරිස්වරු වෙත දන්වන ලදි.

මෙම පුණ්‍යකර්මය ස්ව කැමැත්තෙන් දායක වන ලෙසත් කිසිදු බලපෑමක් නොමැති බවත් එම සාකච්ඡාවේදී වැඩි දුරටත් දන්වන ලැබීය.‍එසේ නමුත් මෙම පිංකමට භාහිර පාර්ශවයන්ගෙන් මුදල් ඉල්ලුම් කරන බවට එක්තරා මත්පැන් බලපත්‍රධාරී සංගමයක් විසින් සුරාබදු දෙපාර්තුමේන්තුව වෙත චෝදනාවක් එල්ලකර තිබෙන බැවින් ‍මෙම වැඩසටහන නවතා දමන ලෙස සුරාබදු කොමාසාරිස් ජනරාල් තුමා මාවෙත දන්වන ලදි.කෙසේ නමුත් මෙකී බලපත්‍ර සංගමය විසින් කර තිබෙන චෝදනා දෙපාර්තමේන්තුවේ සමස්ත නිලධාරීන් ප්‍රතික්ෂේප කරන බව මා වෙත දන්වා ඇත.

මේ සඳහා නිලධාරීන්ගේ දායකත්වය මිස වෙනත් කිසිදු පාර්ශවයක සහය ලබා නොගන්නා ලෙස දැනුම් දී තිබුණු බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම්,මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම) එම්.ඩබ්ලිව්.කේ දිසානායක මහතා ලිපිය මගින් දක්වා තිබුණද අදාළ ලිපියේ එවැන්නක් සඳහන්ව නොතිබිණි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.