සුරාබදු මෙහෙයුමට කොටු වූ මහනුවර මලවි කරළිය

ආදරවන්තයින්ගේ දිනය සැමරීම සඳහා මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක මත්ද්‍රව්‍යය භාවිත කරමින් ෆේස් බුක් සාදයක් පවත්වමින් සිටි පාසැල් සිසුන් ඇතුළු දෙසීයකට ආසන්න තරුණ තරුණියන් පිරිසක් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
සාදයට සහභාගි වී සිටි පිරිස අතර පොලිස් පරීක්ෂකවරයෙකු, බන්ධනාගාර ජේලර්වරයෙකු, විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු හා පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේනියේ රැකියා වල නියුක්තව සිටින්නන්ද වූ බව මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
මත්ද්‍රව්‍ය රැගෙන තරුණියන් 25 දෙනකු පමණ සාදයට සහභාගි වී සිට ඇත. ෆේස් බුක් සාදය සංවිධානය කළ පුද්ගලයා සමඟ වැටලීම සිදු කරන අවස්ථාවේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් සෙසු අය අවවාද කර මුදාහැරි බවත් මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ මහතා කීය.
සැකපිට අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී හෙරොයින්, ගංජා, අයිස්, මරිජුවානා සහ මත් පෙති වර්ග තිබී සොයා ගෙන තිබේ.

මුහුණු පොත ඔස්සේ මෙම සාදය පිළිබඳව ප්‍රචාරය ලබා දෙමින් ඊට පුද්ගලයින් සම්බන්ධ කරගෙන තිබෙන බවත් මහනුවර, දඹුල්ල, අනුරාධපුර, ගම්පහ, කොළඹ, ත්‍රිකුණාමලය ආදි ප්‍රදේශ රැසකින් තරුණ තරුණියන් පැමිණ සිටි බවත් මලවිපතිරණ මහතා පැවසුවේය. විදේශීය ජාතිකයින් කිහිප දෙනෙකුද එයට සහභාගි වී සිට ඇත.
සුරාබදු නිලධාරියෙක් හා නිලධාරිනියක් මුහුණු පොත ඔස්සේ අදාළ කණ්ඩායම හා සම්බන්ධ වී සාදයට සහභාගි වීමේ අවස්ථාව ලබා ගැනීමෙන් අනතුරුව සාදය පැවැත්වෙන අතරතුර සුරාබදු නිලධාරීන් 15 දෙනෙකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සාදයට එක්වීම සඳහා රුපියල් 2500.00 ක ටිකට් පතක් නිකුත් කර තිබෙන බවත් මත්ද්‍රව්‍යය රුපියල් 3500.00 ට ඉහළ මිළ ගණන් වලට අළෙවි කර තිබෙන බවත් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සාදයට සම්බන්ධවී සිටි පොලිස් පරීක්ෂකවරයා හා බන්ධනාගාර ජේලර්වරයා සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවලට කරුණු වාර්තා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මත්පැන් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් රාත්‍රී 12.00 න් පසුද මත්පැන් අළෙවි කිරීමේ චෝදනාව යටතේ අදාළ හෝටලයට විරුද්ධව සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ.බෝදරගම, අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත දිසානායක, මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න, සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ, සුරාබදු පරීක්ෂක අමිල රන්දෙණිය, සුරාබදු නියාමකවරුන් වන සංඛ පූර්ණ, තරිඳු රණසිංහ, උදාර රණසිංහ, ධනුෂ්ක රණසිංහ, බන්දුල ධර්මසේන, කාන්තා සුරාබදු නියාමක ගයානි සමරවංශ සමඟ ගම්පොළ සුරාබදු ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්ද මෙම වැටලීමට සහභාගි වී ඇත.