සීමා පැන්න බස් අල්ලයි

පළාත් අතර පනවා තිබෙන සංචරණ නීති උල්ලංඝනය කරමින් මහනුවර සිට කොළඹ දක්වා මගීන් රැගෙන යාමට ගිය පෞද්ගලික බස් රථයක් මහනුවර මූලස්ථාන පොලීසියේ රථවාහන අංශය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.

රියදුරු හා කොන්දොස්තර මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ බස් රථය නවතා පාගමනින් බෝගම්බර බස් නැවතුමට පැමිණ කොළඹ දක්වා ගමන් ගැනීමට බස් රථයක් තිබෙන බව මගීන්ට පවසා අදාළ බස් රථයට ඔවුන් යොමුකර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

මෙම බස් රථයට මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරිය මගින් මහනුවර හල්ඔළුව මාර්ගයේ මගී ප්‍රවාහන සඳහා බලපත්‍රයක් නිකුත් කර තිබෙන බව  මධ්‍යම   පළාත්  මගී ප්‍රවාහන අධිකාරියේ  සභාපති හසිත විජේතිලක මහතා කීය.

පොලීසියට ලැබුණු තොරතුරු මත අදාළ බස් රථය පරීක්ෂා කළ අවස්ථාවේ කොළඹ දක්වා ගමන් ගැනීමට එහි මගීන් 50 දෙනෙකු පමණ සිට ඇති බවත් නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් ඔවුන් ගෙන් අයකර තිබෙන බවත් හෙළිවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් මෙම බස් රථයේ මගී ප්‍රවාහන බලපත්‍රය අවලංගු කිරීමයට බලාපොරොත්තු වන බවත් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේය.

මහනුවර පොලීසියේ රථවාහන අංශයද සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *