“සිරිසේනට විරුද්ධව නඩු දානවා” – අන්තර්ජාතික සංවිධානයක් කියයි.

ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය කියයි.
මෙම සංවිධානය ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත්වී විදේශ ගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සැදුම් ලත් එකකි. මහා බ්‍රිතාන්‍ය මූලස්ථානය කර ගත් එය ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉතාලිය ආදී රටවල් රැසකම ක්‍රියාත්මක වන්නකි.
එහි කැඳවුම්කරු හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන දැනට මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අජිත් ධර්මපාල මහතා පැවසුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් නීතිය හා සාමය අමාත්‍ය ධුරය සියතට ගෙන පාස්කු දින බෝම්බ ප්‍රහාරයට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වග කිවයුතු බව පවසමින් ඔහු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගැනීම නීති විරෝධී බවයි. එය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට කරන ලද බලවත් අවමානයක් බව පවසන ඒ මහතා මීට පෙර සැම්බියාව, සුඩානය වැනි රටවල පොලිස්පතිවරුන් ප්‍රශ්න කිරීමට ලක් කරනු ලැබුවද මේ ආකාරයෙන් කිසිදු රටක පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කර නොමැති බවද පැවසීය.
මෙම සිද්ධිය තුළින් ශ්‍රී ලංකාවේ පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් දැඩි කම්පනයකට පත්ව සිටින බවත් දේශපාලනඥයින්ගේ බල මහිමය හමුවේ ඔවුන් ඉත්තන් වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් හෙතෙම පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු තීරණ හා තීන්දු ගන්නා ආරක්ෂක මණ්ඩලයට පොලිස්පතිවරයා නොකැඳවා තිබුණු පසුබිමක පාස්කු දින බෝම්බ ප්‍රහාරයට හිටපු පොලිස්පතිවරයා වග කිවයුතු බවට කිසිදු ආකාරයක විමර්ශන වාර්තාවක් නොමැති බවත් දේශපාලන බලපෑම් මත හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ධර්මපාල මහතා කීය.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට ඉන් ඉවත්වී යුරෝපීය රටක තානාපතිවරයකු ලෙස පත්ව යන ලෙස බලපෑම් කර සිටියේ මන්දැයි ප්‍රශ්න කිරීමට සිදුවන බවත් හෙතෙම පැවසුවේය.
පාස්කු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ස්ථාපිත කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිදුකළ ප්‍රකාශය ආරක්ෂක ලේකම්වරයා හා බුද්ධි තොරතුරු අධ්‍යක්ෂකවරයාත් පිළිගෙන තිබියදී ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් සිදුව තිබෙන බව පැහැදිලි යැයිද ඒ මහතා කීය.
තොරතුරු දැන ගැනීමේ පනතෙන් අවශ්‍ය ලිය කියවිලි කිහිපයක් ඉල්ලා තිබෙන බවත් ඒවා ලද වහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවත් කී ධර්මපාල මහතා හිටපු ජනාධිපතිවරයාට මේ වන විට ජනාධිපති මුක්තිය නොමැති බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් නොමැති බවද අවධාරණය කළේය.
