සිරිසඟබෝ රජු මහා දාන පාරමිතා පිරූ හස්තිකුච්ඡි විහාරය ——-

සිහලවත්ථුවේ ඇත්කුස විහාරය නමින්ද සෙල්ලිපි වල අතිකු(චි)ය විහාරය නමින්ද විසිද්ධිමගෙහි හස්ථිකුච්චි විහාරය නමින්ද,හත්ථවනගල්ල විහාර වංශයේ හත්තවනගල්ල නමින්ද සදහන් වන හස්තිකුච්ඡි විහාරය ශ්‍රී ලාංකේය ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් සටහන් කළ වන්දනීය වූ පූජා භූමියකි.

සියවස් කිහිපයක් පුරා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන හස්තිකුච්ඡි විහාරය ක්‍රි.පූ. 3 සියවසේ සිට ක්‍රි.ව. 9 සියවස දක්වා වූ දීර්ඝ කාල පරාසයකට අයත් වූ සෙල්ලිපි එකම ස්ථානයකින් හමු වූ ලංකාවේ එකම පූජා භූමියද වේ.

අක්කර 300 පමණ පුළුල් වපසරියක් පුරා විහිදී යන මෙම වන සෙනසුන හා බැඳුණු පුරාවෘත්ත මෙන්ම ඉතිහාසගත කරුණු රාශියකි.

ක්‍රි.ව. පළමුවන සියවසේ ලියන ලද සහස්සවත්ථූපකරණයේ හස්තිකුච්ඡි වන සෙනසුනට පැමිණි සද්ධාතිස්ස රජතුමාගේ බෑනණුවෙක් වූ ඵුස්සදේව කුමරා එහි වූ චෛත්‍යයකට මහා පූජාවක් පවත්වා පූජා භූමියේ වූ ලෙන්, ආසනඝර ආදිය පිළිබඳ ඉතා පැහැදීමට පත්ව එහි විසූ මහාදේව භික්ෂූන් වහන්සේ යටතේ සසුන්ගතව රහත් වූ බව සදහන්ව තිබේ . මින් පෙනීයන්නේ මෙම වන සෙනසුන රහතන් වහන්සේලාගේ පහසින් පවිත්‍ර වූ පුණ්‍යභූමියක් බවය.

එමෙන්ම විශුද්ධිමග්ග ලියූ බුද්ධඝෝෂ හිමියන්ද මෙම හස්තිකුච්ඡි විහාරය රහතුන් වහන්සේලා වැඩ විසූ ස්ථානයක් බවත්, එකල රටවැසියන්ගේ මහා ගෞරවාදරයට ලක් වූ ස්ථානයක් බවත් සදහන් කර ඇත.

මින් පෙනී යන්නේ හස්තිකුච්ඡි විහාරය ලක්දිව බුදුසසුන ස්ථාපිත වූ මුල් යුගයේ සිටම පැවති පුණ්‍යභූමියක් බවය.

හස්තිකුච්ඡි විහාරය හා සම්බන්ධ ඵෙතිහාසික තොරතුරු මෙන්ම ජනප්‍රවාදයන්ද බොහෝය.

ක්‍රි.ව.247 දී ලංකාවේ රාජ්‍යත්වයට පත් ශ්‍රී සංඝබෝධි හෙවත් සිරිසඟබෝ රජු මහා දාන පාරමිතා පිරූ ස්ථානය ලෙසත් හස්තිකුච්ඡි විහාරය සළකනු ලැබේ.

සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය පිළිබඳ විවිධ මත පළ වුවද ‍ඵෙතිහාසික සිද්ධීන් සලකා බලන කල එය හස්තිකුච්ඡි විහාරයම බව බොහෝ විද්වතුන්ගේ මතයයි.

සිරිසඟබෝ රජු රාජ්‍යත්වයට පත්වූ ආකාරය පිළිබඳ රසවත් ජනප්‍රවාදයක් ද වේ.

ක්‍රි.ව.242 රජ පැමිණි විජය කුමාර් හෙවත් විජයිදු රජුගේ රාජ සේවයට යම්න් සිටි සංඝතිස්ස, සංඝබෝධි හා ගෝඨාභය යන ලම්බකර්ණ වංශිකයන් තිදෙනාගේ අඩි ශබ්දය ඇසුණු තිසාවැව පාමුල සිටි අන්ධ අනාවැකි කියන්නෙක් එම පියවර හඬ විමසා බලා” දැන් මේ ගිය තිදෙනාම ලංකාවේ රජ වන්නේය”යැයි ප්‍රකාශ කළේලු. එම ප්‍රකාශය ඇසුණු ගෝඨාභය ආපසු හැරී අන්ධ අනාවැකිකරුවා වෙත ගොස් විස්තර විමසීමේදී තිදෙනාගෙන් අවසානයට රජවන අය වැඩි කාලයක් රාජ්‍යත්වය දරණ බව පැවසුවේලු.

මෙය දැඩිව සිතට ගත් ගෝඨාභය විජයිදු රජු මරා සංඝතිස්සට රජකම ලබා දුන්නේය. වසර 4 ක් රජ කළ සංඝතිස්ස රජු දැඩි ලෙස ජම්බු කෑමට ලොල්වූවෙකු වූ අතර ප්‍රදේශවාසීන් විසින් ජම්බු වලට වස දමා දීමෙන් මරණයට පත් විය.

මීලඟට රජකම හිමි වූ සංඝබෝධි හෙවත් සිරිසඟබෝ ඉතා සංවේදී රජකෙනෙකු විය. මෙතුමාගේ දැහැමි පාලනය නිසා රටවැසියන් ඔහුට මහත් සේ ඇළුම් කළ අතර මේ හේතුව නිසාම තමාට රජවිය නොහැකි වේදෝයි බිය වූ ගෝඨාභය රජුට විරුද්ධව කැරැලි ගැසුවේය.
සටනකින් සිදුවිය හැකි මිනිස් සංහාරය වළකනු සඳහා රජකම අතහැරි සිරිසඟබෝ රජතුමා පෙරහන්කඩ පමණක් අතැතිව මාළිගයෙන් පිට විය.

රජකම ලැබීත් සෑහීමකට පත් නොවූ ගෝඨාභය රජු සිරිසඟබෝ රජුගේ හිස රැගෙන එන්නෙකුට ත්‍යාගයක් පිරිනමන බව දැන්වූ අතර මිනිසුන් සිරිසඟබෝ රජුගේ හිස යැයි කියා වෙනත් මිනිසුන්ගේ හිස් රැගෙන යන බව දුගියෙකුගෙන් දැනගන්නා සිරිසඟබෝ රජු එම දුගියාට හිස දන් දුන් බවත් එම හිස දන් දුන් ස්ථානය හස්තිකුච්ඡි විහාරය බවත් බොහෝ විද්වත්හු පවසති.

එමෙන්ම මෙම සිද්ධියෙන් කම්පාවට පත් ගෝඨාභය රජු හිස දන්දුන් ස්ථානයේ විහාරයක් කරවූ බව මහාවංශයේ මෙන්ම දීපවංශයේද සඳහන් වෙයි. එම හිස දන් දුන් ස්ථානය ඉසුරුමුණි විහාරයට දකුණු දිශාවේ වූ ස්ථානයක් බව මහාවංශ ටීකාවේ සඳහන්ය.

එම ස්ථානය හස්තිකුච්ඡි විහාරය පිහිටි ස්ථානය බව විද්වත්හු ප්‍රකාශ කරති.

අනුරාධපුරයේ සිට හස්තිකුච්ඡි විහාරයට සැතපුම් 13 ක් පමණ ඇති අතර අනුරාධපුරයේ දකුණු දොරටුවේ සිට තඹුත්තේගම හරහා රාජාංගනයේ හස්තිකුච්ඡි විහාරය දක්වා ඇති පාර අදද හඳුන්වනුයේ “රාජා ගිය පාර” යනුවෙනි. එසේ ප්‍රකාශ කරණුයේ සිරිසඟබෝ රජු රජකම අතහැර ගිය පාර නිසා බව ජනතාවගේ විශ්වාසයයි.

මේ ජන විශ්වාසය කෙසේ වූවද හස්තිකුච්ඡි විහාරය යනු ශ්‍රී ලාංකික ශාසන ඉතිහාසයට, පුරාවිද්‍යාවට මෙන්ම වාස්තු හා ගෘහනිර්මාණ ශිල්පයට වැදගත් වන පුදබිමකි.

ක්‍රි.පූ.3 වන සියවසේ සිට ක්‍රි.ව.9 වන සියවස දක්වා වූ කාල පරාසයකට අයත් සෙල්ලිපි මේ දක්වාම මෙම පුදබිමේ ශේෂව පවතී. මේ අතර සාමාන්‍ය සෙල්ලිපි මෙන්ම වරහළ ලිපි රැසක්ද මේ වන විට සොයාගෙන තිබේ. වරහළ ලිපි යනු විහාර සලාක පිළිබඳ ලියැවී ඇති සෙල්ලිපි වේ. මෙවැනි වරහළ ලිපි රැසක්ම පරිවර්තනය කොට ඇත.

පොහොය ගෙයක්, බුදු මැදුරක්, තෙමහල් ධාතු මන්දීරයක්, වටදාගෙයක්, චෛත්‍යය 8 ක් හා දාන ශාලාවක්, මුල් යුගයේ ලියවුණු සෙල් ලිපි විශාල සංඛ්‍යාවක් අදටත් මෙහි නටඹුන් ලෙස දක්නට ලැබේ.

“අස අවරිය සිරස” යනුවෙන් සටහන් කොට ඇති ගල් පුවරුවක් හස්තිකුච්ඡි විහාරයේ නටඹුන් අතර දක්නට ඇත. මෙය පිහිටුවා ඇත්තේ සිරිසඟබෝ රජුගේ හිස ආදාහනය කර ගොඩනගා ඇති, වටදාගෙය සහිත ස්ථුපය ආසන්නයේ බැවින් “සිරිසඟබෝ රජුගේ හිස ආදාහනය කළ තැන මෙතැන විය හැක” යනුවෙන් හස්තිකුච්ඡි විහාරවංශය ග්‍රන්ථයේ නොච්චියාගම සෝමානන්ද හිමි සඳහන් කරයි.

පැරණි මුරගල් හා සදකඩපහණ, කොරවක්ගල් හා සිරිපතුල් ආදියද මෙහි දක්නට ලැබේ.
මෙහි ඇති විශේෂතම නිර්මාණය වන්නේ අත්තනගල්ල වටදාගෙයයි. මෙය ගල්කුලක් පාදමේ ඉතා දැකුම්කලු ලෙස නිර්මාණය කර ඇති චෛත්‍යයක් වටා ඉදිකර ඇති අතර එහි අවට තේවා මණ්ඩප මෙන්ම පොකුණුද දක්නට ලැබේ.

මෙහි ස්වාභාවික ලෙන්කුටි විශාල ප්‍රමාණයක් දක්නට ඇති අතර කටාරම් සහිත පූජා ලිපි ආදියද දක්නට ලැබේ.

මෙම විහාරයේ චෛත්‍යයට බටහිර කොටස පැරණි හස්තිකුච්ඡි විහාරය ලෙසත් නැගෙනහිර කොටස ගෝඨාභය රජතුමා විසින් කරවූ අභයාරාමය ලෙසත් හදුනාගෙන ඇත. මෙහි සෙල්ලිපි හා නටඹුන් වලට අනුව අභයාරාමය ගෝඨාභය රජතුමා හා ඉන් පසු රජවරුන් විසින් කරවූ ගොඩනැගිලි වල නටඹුන් බවට හදුනාගෙන ඇත.මෙය “තිබිරිවැව” සෙල්ලිපියෙන් වඩාත් තහවුරු වේ.

ජනප්‍රවාද හා ජනශ්‍රැති කෙසේ වුවද මෙම හස්තිකුච්ඡි පුදබිම ඵෙතිහාසික, පුරාවිද්‍යාත්මක මෙන්ම වාස්තුවිද්‍යාත්මක වටිනාකම් සහිත පින් බිමකි.
දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ඇති හස්තිකුච්ඡි වන සෙනසුන ශ්‍රී ලාංකික සැදැහැවතුන්ට, ඉතිහාසඥයන්ට මෙන්ම පුරාවිද්‍යාඥයන්ටද වටිනාකම් රැසක් සහිත පූජා භූමියකි.

පුරාවිද්‍යාත්මක නිශ්චිත ලිඛිත සාක්ෂි නොමැති වුවද හස්තිකුච්ඡි වන සෙනසුන ලාංකේය රාජ්‍ය ඉතිහාසයේ අවිහිංසාවාදීම රාජ්‍ය නායකයා වූ සිරිසඟබෝ රජුගේ පා පහසින් පින්වත් වූ පින්බිමක් වූ බව නම් නොඅනුමානය.

ශානිකා පවනී හේවගේ ….

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.