සිරිපා වාරය මැයි 08 නිමයි. රටට ඡන්ද ඕන නැහැ. ශ්‍රීපාදස්ථාන නාහිමි පවසති

2019-2020 ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනට පසු දින එනම් (08) දින අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක , ඌව පැල්මඩුල්ල ශ්‍රි රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් පැවසීය.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාද ස්ථානාධිපති හිමියන් කියා සිටියේ ශ්‍රි පාද උඩමළුවේ දිනකට සිව්වතාවක් තේවාවන් සහ පුදසිරිත් පවත්වන බවයි.
පුරා පසලොස්වක පොහෝ දිනයන් හි අතීතයේ සිට සිදු කළ පරිදි විශේෂ පුජාවන් හයක් සිදු කරන බවද උන් වහන්සේ කියා සිටියහ.
ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වන තෙක්ම ශ්‍රි පාද උඩමළුවේ පැවැත්වෙන තේවාවන් සහ පුද පුජාවන් අතීතයේ සිට පවත්වාගෙන ආ ආකාරයට සිදු කරන බවත්, වෙසක් පොහෝ දිනට පසු දින ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහ විහාරස්ථානය දක්වා වැඩමකරවන බවත් ශ්‍රි පාදස්ථනාධිපති හිමියන් වැඩිදුරටත් පැවසීය.
“කොවිඩ් 19 වෛරසය පැතිර යන මෙම අවස්ථාවේ ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගත් අභීත රණවිරුවෙකු වු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව තෝරා පත් කරගෙන ඇත්තේ රටේ භාග්‍යයට බවත්,මේ රට තුළ කාලයකට මැතිවරණ නොපවත්වා නීතිය සහ සාමය පවත්වාගෙන යාමට ගෝඨාභය රා රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආරක්ෂක කමිටුවක් ඇති කර වසර කිහිපයක් පාලනය කළ හොත් රට ගොඩ ගැනිමට හැකියි” යනුවෙන් ශ්‍රි පාදස්ථානාධිපති හිමියෝ මෙහිදී කියා සිටියහ.
රටවැසියන් සියළු දෙනාම පාට පක්ෂ කුල භේද අමතක කර රට බේරා ගැනිමට සහයෝගය ලබා දිය යුතු බවද ශ්‍රි පාදස්ථනාධිපති හිමියෝ වැඩිදුරටත් පැවසූහ.