සාමය සඳහා නව ප්‍රවේශයක් අවශ්‍යයි – සාමදාන ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානවිධායක නිලධාරී නිරෝෂන් ඒකනායක

යුද්ධය කියන්නේ අපි කවුරුත් ජාති, ආගම් බේදයෙන් තොරව ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් වුවත් අවාසනාවන්ත ලෙස අපිට තිස් වසරක කාලයක් කුරිරු යුද්ධයක පැටලී ඉන්නට සිදුවිය. මේ යුද්ධය නිසා අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් අති විශාල පිරිසකට ජීවිත අහිමි විය. යුද්ධයක් යනු පොදුවේ ගත් කළ මනුෂ්‍ය වර්ගයා විසින් ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය. ජන වර්ග අතර සැකය හා අවිශ්වාසය ඇති වීම ගැටුම් සඳහා මූලික වන අතර එක් එක් ජාතීන්ට විවිධ භාෂා දැනුම හා අවබෝධය නොමැති වීම ඊට එක් ප්‍රධාන හේතුවක් ලෙස හඳුනා ගෙන තිබේ. අප ගමන් කළ යුතුව තිබෙන්නේ ගැටුම් වලින් තොර සමාජයක් වෙතය. එය පහසුවෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි ඉලක්කයක් නොවන්නේ ගැටුම් වලින් තොර සමාජයක් යනු එක්තරා අන්දමකට සංකල්පීය වශයෙන් පවතින නමුත් ප්‍රායෝගිකව දැකිය නොහැකි බැවිනි.

ගැටුම් නිවා දැමීමට බස භාවිතා කිරීම

එසේ වුවත් අපට ගැටුම් අවම කර ගැනීම සඳහා වන ගමනකට මුල පිරීමට පුළුවන. ඒ සඳහා සාමය, සමඟිය, අන⁣න්‍යෝන්‍ය අවබෝධය වැනි ගුණාංග සමාජයක් තුළ ප්‍රවර්ධනය කළ යුතු වන්නේය. සිංහල ජනතාව සිංහල භාෂාවට මූලිකත්වය ලබාදී ඉගැනුම් ක්‍රියාවලියේ නිරත වෙත්දී දෙමළ ජනතාව දෙමළ භාෂාව ඉගෙන ගැනීමට උනන්දු වීම දශක කිහිපයකට පෙර සිටම අප සමාජයේ දක්නට ලැබෙන තත්ත්වයකි. නිදහස ලබන විට සිංහල භාෂාව දැන සිටි පිරිසත් දෙමළ භාෂාව දැන සිටි පිරිසත් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කර සිටි නිසා නිදහස් සටනට පණ දුන් අවස්ථාවේ සිංහල නායකයින්ද දෙමළ නායකයින්ද මුස්ලිම් නායකයින්ද එකට එක්ව කටයුතු කළ ස්වරූපයක් දක්නට ලැබිණි.

එසේ වුවත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස නම් කිරීම ඔස්සේ සමාජය තුළ යම් යම් බෙදීම් නිර්මාණය වූ අතර අසූව දශකය ආරම්භ වන විට එය වඩාත් ඉස්මතු වී රට දෙකඩ කිරීමේ ව්‍යාපාරයක් දක්වා හිස ඔසවන තත්ත්වයක් ඇති විය. අප 1948 දී නිදහස ලබන විට රජයේ සියලු කටයුතු සිදුවූයේ ඉංග්‍රීසි භාෂාවෙනි. සිංහල හා දෙමළ භාෂා කතා කරන ජනතාවට විදුලි පණිවිඩයක් පවා ලැබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර භාෂාව නොදන්නා අයෙකුට එහි ඇති කරුණු දැන ගැනීම සඳහා ඉංග්‍රීසි දන්නා අයෙකු සොයා යෑමට සිදු විය. 1956 වන තෙක් සියලුම දේශපාලන පක්ෂවල පිළිගත් මතය බවට පත්ව තිබුණේ සිංහල හා දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා ලෙස පිළිගත යුතු බවයි. නමුත් 56 පෙරළියත් සමඟ සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කළ යුතුය යන අන්තවාදී රැල්ල පණ ගැසුවේය. තමන් බලයට පැමිණි පසු පැය 24 ක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරන බවට එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා සහතිකයක් ලබා දුන්නේය.

මේ ඔස්සේ සමාජය තුළ දැල් වුණු ජාති වාදයේ ගිනි දලු වරෙක බුර බුරා අහසට නැගුණි.1983 කළු ජූලිය ඊට එක් උදාහරණයකි. පසුකාලීනව සිංහල හා දෙමළ සමාජය උතුර හා දකුණ ලෙස බෙදීම් රේඛාවකට ලඝු වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස මිනිස් ජීවිත දස දහස් ගණනක් රටට අහිමි විය. තවත් දස දහස් ගණනක් ආබාධිත තත්ත්වයට පත් වූහ. ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය වැනි පූජනීය ස්ථාන වලට මෙන්ම රටේ ආර්ථික මර්මස්ථාන වලට ප්‍රහාර එල්ල විය. මේ සියල්ලෙන් සිදුවූවේ රටක් ලෙස අප පරිහානියට පත් වීමය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේද අපි බෙදීම් නිර්මාණය කර ගත්තෙමු. මළ සිරුරු භූමදානයේදී පවා ජාතියක් ලෙස එකඟතාවට පැමිණීමට අපට නොහැකි විය. මේ සියල්ල තුළින් සිදුවූවේ යුද්ධය අවසන් වුවත් තාමත් අපට ශ්‍රී ලාංකිකයින් ලෙස එකතු වීමට නොහැකි බව මිස වෙනත් කාරණයක් නොවන්නේය. කොවිඩ් වෛරසය ජාති, ආගම් බේද කිසිවක් නොතකා මේවන විටත් අපේ රටේ 13000 කට වැඩි පිරිසක් ගොදුරු කර ගෙන තිබේ. ජාති, ආගම් ලෙස අප කෙලෙස බෙදී සිටියත් අවසානයේ ඒ බෙදීම් සියල්ල යටපත් කර අප මරණය කරා ගමන් ගන්නා බව කොවිඩ් අපට මොනවට පැහැදිලි කර දී ඇත. රට තුළ ජාතික, ආගමික සහජීවනයක් ඇති කිරිම පිණිස දේශපාලනඥයින්ට සැබෑ වුවමනාවක් නැත. ඒ බව පසුගිය දශක ගණනාව මුළුල්ලේම අපට දක්නට ලැබිණි.

කඩවුනු පොරොන්දු – ව්‍යවස්ථා හුටපට

බලයට පැමිණීමට පෙර නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට දෙන පොරොන්දු බලයට පැමිණි පසු පක්ෂ නායකයින් අමතක කළ වාර බොහෝය. අද මේ මොහොතේද සිදු වෙමින් පවතින්නේ එම කාරණයමය. මෙරට ක්‍රියාත්මක පුවත්පත් හා රූපවාහිනි නාලිකා ගත හොත් ඒ ඒ ජාතීන් ඉලක්ක කර ප්‍රවෘත්ති පළ කරන ස්වරූපයක් දක්නට ලැබෙයි. එසේ සිදු කිරීම වරදක් නැත. එසේ වුවත් ජාතින් අතර ගැටුම් නිර්මාණය වීමට හේතු වන ලෙසින් එලෙස ප්‍රවෘත්ති පළ කිරීම වරදකි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පුද්ගලයින් සිංහල පුවත්පත් හා රූපවාහිනි නාලිකා මගින් කොටි ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වත් දී  දෙමළ පුවත්පත් හා නාලිකා ඔවුන් හඳුන්වනු ලබන්නේ දේශපාලන සිරකරුවන් ලෙසිනි. සිංහල භාෂාව නොදන්නා දෙමළ ජනතාවත් දෙමළ භාෂාව නොදන්නා සිංහල ජනතාවත් මෙය නොදනී. තමන්ගේ භාෂාවෙන් කියන දේ දැන ඔවුන් තවත් ජාතියකට වෛර කරන්නට පෙළඹෙති. එසේ නම් මෙම ගැටුම් අවම කිරිම සඳහා අපට කළ හැකි වඩාත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් හඳුනා ගැනීම අතිශයින් වැදගත් කාරණයකි. එහිදී සිංහල ජනතාවට දෙමළ භාෂා දැනුමත් දෙමළ ජනතාවට සිංහල භාෂා දැනුමත් ලබා දීම කාලෝචිත අවශ්‍යතාවක් ලෙස හඳුනා ගැනීමට පුළුවන. ඔබ ඉදිරිපිට සිටින පුද්ගලයාට ඔබේ භාෂාවෙන් කතා කරන්න..එය ඔහුගේ බුද්ධියට දැනේ…ඔබ ඉදිරිපිට සිටින පුද්ගලයාට ඔහුගේ භාෂාවෙන් කතා කරන්න…එය ඔහුගේ හදවතට දැනේ යනුවෙන් වරක් නෙල්සන් මැන්ඩෙලා පැවසුවේය. මේ තුළ ගැබ්ව තිබෙන්නා වූ ගැඹුර සමාජයක් ලෙස අප අවබෝධ කර ගත යුතුය. “භාෂා දෙකක් නම් එක් රටක් – එක භාෂාවක් නම් රටවල් දෙකක්” යනුවෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ ඓතිහාසික ප්‍රකාශය මගින් ‘සිංහල බස පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක’ පෙන්වා දෙනු ලැබිණ.

ඉන් වසර විසි දෙකකට පසු එනම් 1978 වසරේ සම්මත කරන ලද ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව’ මගින් සිංහල සහ දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස පිළිගනු ලැබිණි. එසේ වුවත් අප තාමත් භාෂා අරගලයක පැටලී සිටින බවට හොඳම උදාහරණය ජාතික ගීය යි.එය සිංහලෙන් පමණක් ගැයීම දෙමළ ජනතාවට ප්‍රශ්නයකි. දෙමළෙන් ගැයීම සිංහල ජනතාවට ප්‍රශ්නයකි.මේ අළු යට පවත්නා ගිනි පුපුරු නිවා දැමීමට දිය හැකි හොඳම විසඳුම සිංහල අප දෙමළ ඉගෙන ගැනීමයි.එලෙසම දෙමළ ජනතාව සිංහල ඉගෙන ගැනීමයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.