සාක් රටවල රැඳී සිටි සිසුන් යළි කැඳවා ගැනීමේ මෙහෙයුම, මුල් අදියර අවසන්.

උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ගොස් කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන්, සාක් රටවල සිරව සිටි සිසුන් යළි කැඳවා ගැනීමේ වැඩසටහනේ මුල් අදියර නිමාවේ. ඒ යටතේ සියරට පැමිණීමේ අපේක්ෂාවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර රැඳී සිටි තවත් ලාංකික සිසුන් 143 දෙනෙකු ඊයේ (29) දින කටුනායක ගුවන් තොටුපළෙන් දිවයින බලා ආහ. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන්යානයකිනි.
යූ.එල් 1196 දරන මෙම යානය ඊයේ දහවල් ඉන්දියාවේ නවදිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් ව සවස 4.35ට කටුනායකට පැමිණුනි. පැමිණි සිසුන් නිරෝධායන කාර්ය සඳහා යුධහමුදාවට භාරදුන් අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා පැවසුවේ පැමිණීමට නොහැකිව සාක් රටවල සිරව සිටි ලාංකික සිසුන් සියරට ගෙන්වා ගැනීමේ ගුවන් මෙහෙයුම්වල පළමු අදියර සාර්ථකව නිම වූ බවයි.
අධ්‍යාපන කාර්යයන් සඳහා ගොස් ලෝකයේ රටවල් ගණනාවක සිරව සිටි සිසුන් තමන් මුදාගන්නා ලෙස රජයෙන් ඉල්ලා තිබුණද සාක් රටවල රැඳී සිටි සිසුන් කැඳවා ගැනීමේ කාර්යයට ප්‍රමුඛතාව ලැබුණි. ඒ අනුව මේවනවිට සිසුන් 946ක් දිවයිනට කැඳවා ගෙන තිබේ. ඉන් වැඩිම පිරිස ලෙස සිසුන් 684ක් ගුවන් ගමන් වාර 05කින් පැමිණ ඇත්තේ ඉන්දියාවේ ගුවන්තොටුපළ කිහිපයක් උපයෝගී කරගනිමිනි.
නේපාලය, පාකිස්ථානය හා බංග්ලාදේශයේ සිට පැමිණි සිසුන් ගණන 262කි. මෙසේ සියලු රටවල සිට ගෙන්වා ගත් සිසුන් නිරෝධායනයට යොමු කර ඇත.
කෙසේවෙතත් ඉන්දියාව ඇතුළු රටවල සිට සිසුන් නැවත ගෙන්වා ගැනීමේදී අසාමාන්‍ය ලෙස ඉහළ ගුවන් ගමන් ගාස්තු අයකළ බවට ඇතැම්හු චෝදනා කළහ. ඒ සම්බන්ධයෙන් ගුවන් සමාගම ප්‍රතිචාර දක්වා තිබුණේ, දුරස්ථ බව පවත්වා ගනිමින් සිසුන් රැගෙන ඒමට සිදුවීම නිසා ගමන්වාරයක ගාස්තු ඉහළ නැංවීමට සිදු වූ බව පවසමිනි.