ස්පුට්නික් මුල් තොගය මහනුවරට – කෙහෙළිය

කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍යය සියලු මුදල් රජය සතු බවත් දැනට ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ ලෝකයේ රටවල් වල ඉල්ලුමට සරිලන එන්නත් නිෂ්පාදනය නොවීම බවත් ජනමාධ්‍ය අමාත්‍ය,රජයේ කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ලෝකයේ රටවල් 193 ම මේවන විට එන්නත් ලබා ගැනීමේ පොරයක් නිරතව සිටින බවත් මේ අතරින් තවමත් එකදු හෝ එන්නත් නොලැබුණු රටවල් 51 ක් තිබෙන බවත් එ් මහතා කීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (21) පැවැති කොවිඩ් මර්දන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එන්නත් ලබා ගැනීමට රජය සතුව මුදල් නොමැති බවට ව්‍යාජ ප්‍රචාර යවමින් කොවිඩ් මර්දන ව්‍යාපාරය දේශපාලන ව්‍යාපාරය හා කළවම් කර ගැනීමට ඇතමුන් උත්සහ කරන බවත් මෙම බැරෑරුම් අවස්ථාවේ එවැනි පහත් ක්‍රියා නොකරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් රඹුක්වැල්ල මහතා කීය.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 50000 ක් මෙම සතියේ මෙරටට ලැබෙන බවත් අනතුරුව තවත් මාත්‍රා මිලියනයක් ලබන මස මුල් සතියේ ලැබෙන බවත් කී ඒ මහතා මෙම එන්නත් ජනතාවට ලබාදීමේදී මහනුවර දිස්ත්‍රික්කයට පුමුඛතාව ලැබෙන බවද අවධාරණය කළේය.

වර්තමානය තත්ත්වය විෂ්ලේෂණය කිරීමේදී මහනුවර දිස්ත්‍රික්කය කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් අවධානම් තත්ත්වයක තිබෙන බවත් ජාතික කොවිඩ් කමිටුව ගත් තීන්දු වලට අනුව බස්නාහිරට මෙන්ම මහනුවරටත් අදාළ එන්නත් ලබාදෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

ඒ අනුව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් පළමු තොගය සම්පූර්ණයෙන්ම මහනුවරට ලබා දෙන බවත් මහනුවර දිස්ත්‍රික් ජනතාව සම්පූර්ණයෙන්ම ආවරණය වන පිරිදි එන්නත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා කීය.

කොවිඩ් ව්‍යාප්තිය වැඩිපුර දක්නට ලැබෙන කුණ්ඩසාලේ,මැද දුම්බර,පාතදුම්බර,මහනුවර නගර සීමාව හා ගඟවට කෝරළය යන ප්‍රදේශ වල ජනතාවට මෙහිදී ප්‍රමුඛතාව ලබාදෙන බවද රඹුක්වැල්ල මහතා පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.