සමහරුන්ට සෙල්ලමක් වුණ කොරෝනා බය…!

 සමහරුන්ට සෙල්ලමක් වුණ කොරෝනා බය…!

කොරෝනා කියන කොට ගොඩක් ජාති මතක් වුණත්, මේ දවස් වල අහන්න ලැබෙන කොරෝනා එකට නම් කාටත් බය හිතිල තියෙන්නෙ… ගිය අවුරුද්දෙ දෙසැම්බර් අන්තිමේදි විතර චීනයෙ වුහාන් වල අසාධ්‍ය වෙන්න පුලුවන්  ශ්වසන ආසාදනයක් පැතිරෙන්න පටන් ගත්තට පස්සෙ තමයි, මේ ගැන සෞඛ්‍ය බලධාරීන්ගෙ අවධානය යොමු වුණේ. කොහොමහරි, මේ ජනවාරි 7 වෙනිද චීන වෛද්‍යවරුන් විසින් මේ ශ්වසන ආසාදනයට හේතුවන රෝගකාරකය corona කාණ්ඩයට අයත් අළුත් විදිහෙ වයිරසයක් බව සොයාගෙන තියෙනව කියල දැන් ප්‍රසිද්ධයි.
ලතින් බසින් ‘කොරෝනා’ කියන්නෙ රැස් වළල්ලට, එහෙම නැත්නම් ඔටුන්නට. ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂයෙන් බැලුවම, වටේට  හිරුගෙ රැස් වළල්ල වාගෙ ප්‍රසර තියෙන හින්ද තමයි, මේ වයිරස් කාණ්ඩය ‘කොරෝනා’ නමින් හඳුන්වන්නෙ.

කොරෝනා කාණ්ඩයේ වයිරස ක්‍ෂීරපායී සත්ත්වයින්ට සහ පක්‍ෂීන්ට විවිධ ආසාදන ඇති කරනව. ගවයින්ට සහ ඌරන්ට වැළදෙන පාචන රෝගත්, කුකුළන්ට වැළදෙන ශ්වසන ආසාදන තත්ත්වයත් වගේම, මිනිසුන්ට නිතර වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාවට සමාන තීව්‍ර ශ්වසන ආසාදනයත් ඒ අතරින් විශේෂයි.

(සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන්නෙ ‘ඇඩිනො’ වයිරස ආසාදන නිසා. ඊට ටිකක් සැර ආසාදන ඇති කරන අනෙක් වර්ගය තමයි ’ඉන්ෆ්ලුවෙන්සා’ වයිරසය. ‘ඉන්ෆ්ලුවෙන්සා’ (AH1N1 ගැන දැන් ගොඩක් අය දන්නවනෙ.) කොරෝනා වයිරසයෙන් ඇතිවන ශ්වසන ආසාදනත්, ‘ඉන්ෆ්ලුවෙන්සා’ AH1N1 ආසාදන වගේම, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයෙන් පටන් අරගෙන උග්‍ර නියුමෝනියා රෝගය දක්වා අසාධ්‍ය වීමට හැකියාව තිබීමයි, තියෙන අවදානම. වයිරස වල ලාක්‍ෂණික හැකියාවක් වන නිතර වෙනස් වෙමින් අළුත් ප්‍රභේද සාදා ගැනීමේ හැකියාව ‘කොරෝනා’ වයිරස කාණ්ඩයෙත් තියෙනව. මෙහෙම අළුත් ප්‍රභේදයකින් ආසාදනයක් ඇති වුණාම, එයට එරෙහි ප්‍රතිශක්තියක් හැදිල නැති නිසා, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත්, අසාධ්‍ය වීමත් දක්නට ලැබෙනව. ඔබට මතකද, 2002 දී සාර්ස් නමින් කොරෝනා වයිරස ප්‍රභේදයකින් ව්‍යාප්ත වුණු උග්‍ර ශ්වසන ආසාදනය..? ඒකත් පටන්ගත්තෙ චීනෙන්. මුලින්ම මිනිසුන්ට බෝ වුණා කියන්නෙ civet cat නමැති සතාගෙන්. එවර ලොව පුරා ආසාදනයට ලක්වුණු රෝගීන් අට දහසක් පමණ දෙනා අතුරින් අටසිය ගාණක් විතර 2002-2003 අතර මිය ගියා.  ආයෙත්, 2012 වසරෙදි, මැද පෙරදිග ආශ්‍රිතව අළුත් කොරෝනා වයිරස ශ්වසන ආසාදනයක් පැතිරුණා, MERS  නමින්. එක් වර්ගයක ඔටුවන් මගින් මිනිසාට මුල් වරට බෝ වුණා යැයි සැලකෙන එම රෝගයෙනුත්, රෝගීන් දෙදහස් ගණනකින් අටසිය ගණනක් මිය ගියා.

චීනයේ වුහාන් නගරය ආශ්‍රිත අළුත්ම කොරෝනා වයිරස ආසාදනය :2019 (NCOV) ගැන මේ කතාව ලියන 26 වනදා සවස් වන විට, චීනයේ වාර්තා වුණු රෝගීන් 1975 දෙනාගෙන් 56ක් මිය ගොස් ඇති බවත්, තවත් රටවල් 11කින් රෝගීන් කිහිප දෙනෙකු (වැඩි දෙනෙකුම චීනයේ සිට පැමිණ ඇති අය) හඳුනාගනු ලැබූ බවත් සඳහන් වුණා. රෝගය මිනිසුන්ට බෝ වීම සිදුවන්නට ඇත්තේ වවුල් මංශයෙන් සාදනු ලබන සුප් වර්ග සහ සර්පයින් ආහාරයට ගැනීම මගින් විය හැකියිලු.


කොහොම වුණත්, ශ්‍රී ලංකාවෙත් දැනට කොරෝනා වයිරස ආසාදනයදැයි සැක සහිත උණ රෝගීන් සිව් දෙනෙකු වාර්තා වෙලා තියෙන පසුබිමක, මේ රෝගය ගැන ටිකක් කතා කරන එක හොඳයි. (ඔවුන් ආසාදිතයින් නොවන බවද කියවෙනවා) මේ අළුත් කොරෝනා ආසාදනයත් මිනිසුන් අතර ප්‍රධාන වශයෙන්ම බෝවන්නෙ කැස්ස, කිවිසීම, කතා කිරීම වැනි ක්‍රියා වලදි ආසාදිත පුද්ගලයින්ගෙ ශ්වසන මාර්ගයෙන් පිටවන බිඳිති මගින් සහ ඒවා තැවරී ඇති දේවල් ස්පර්ශයෙන්. ආසාදිත සතුන් ස්පර්ශ කිරීම හෝ මාංශ අනුභවයෙනුත් එසේ විය හැකියි. වයිරසය ශරීරගත වී දින 10 සිට 14ක පමණ කාලයක් තුළ රෝග ලක්‍ෂණ හට ගන්න පුළුවනි. වැඩි දෙනෙකුටම ඇති වෙන්නෙ සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක ලක්‍ෂණ. ඒත්, සමහර රෝගීන් නියුමෝනියා තත්ත්වයට ගොදුරු වෙලා, ශ්වසනයට බාධා ඇතිවන අසාධ්‍ය අවස්ථාවට පත්වීම තමයි රෝගයේ භයානකකම. අක්මාව සහ වකුගඩු අක්‍රිය වීමටත් ඉඩ තියෙනව, සමහර රෝගීන්ගෙ. රෝගය වැළැක්වීමට සුදුසු එන්නතක් හෝ ප්‍රතිකාර කිරීමට නිශ්චිත වයිරස නාශක ඖෂධ හඳුනාගෙන නැති නිසා වගේම, රෝගයේ බලපෑම ගැනත් තවම පූර්ණ වශයෙන් පැහැදිලි කරගෙන නැති නිසා, කවුරුත් ඉන්නෙ තැතිගැන්මෙන්.
හැබැයි ඉතින්, දැනට තියෙන දත්ත අනුව නම්, මේ කොරෝනා ආසාදනය කළින් තිබුණු SARS සහ MERS  ආසාදන දෙක තරම් මාරාන්තික වෙලා නෑ. (ඒකෙන් අදහස් වෙන්නෙ නෑ, මේක එච්චර බය වෙන්න දෙයක් නෙමෙයි කියන එක.) චීනය සහ අනෙකුත් රටවල් (අපේ රටත් ඇතුළුව) අතර ජන සංක්‍රමණය හුඟක්ම වැඩි වෙලා තියෙන නිසයි, රෝගය ඉක්මනින් පැතිරීමටත් ඉඩ විවර වෙලා තියෙන්නෙ.
එක රටක පවතින බෝවන රෝගයක් තවත් රටකට පැතිරීම වැළැක්වීමට තියෙන ‘නිරෝධායන’ ක්‍රියාමාර්ග, මේ වන විට මෙම කොරෝනා ආසාදනය පාලනයටත් ගැනෙමින් තියෙනව, අපේ රටෙත් ඇතුළුව. විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින්ට උණ රෝග ලක්‍ෂණ තිබේදැයි හඳුනා ගැනීමේ පරීක්‍ෂණ ගුවන් තොටුපලවල ක්‍රියාත්මකයි. ඒ වගේම, පිටරටක සිට පැමිණ දින 14ක් තුළ උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්වයක් ඇති වුණොත්, වහාම ඒ ගැන සෞඛ්‍ය අංශ වලට දන්වා, සුදුසු ප්‍රතිකාර ගන්නා ලෙසත් මහජනතාව දැනුවත් කොට තිබෙනව.

(ළඟකදි පිටරටකට නොගිය, එහෙම කෙනෙකු ඇසුරු කරලත් නැති කෙනෙකුට උණ හෙම්බිරිස්සාවක් හැදුණට නම්, ඒක ඔය ‘කොරෝනා’ ආසාදනය වෙන්න බෑ…!)
අවම වශයෙන් මේ විදිහෙ ශ්වසන ආසාදන පැතිරෙන්නට අවදානමක් තියෙන කාලෙටවත්, අපි හැමෝම අනුගමනය කළ යුතු මූලික සෞඛ්‍ය පුරුදු කීපයක්ම තියෙනව, (අළුත් කොරෝනාව ආවත් නැතත්)

මේ ආකාරයට: සෙනඟ වැඩිපුර ගැවසෙන තැන්වලට නොයා සිටීම, (ශ්වසන ආසාදන සහිත) රෝගීන් සමග කටයුතු කරන සැමවිටම හොඳ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍යාරක්‍ෂක මුවවැසුම් පාවිච්චි කිරීම,
තමාට ශ්වසන ආසාදනයක් තිබේ නම් කහින විට සහ කිවිසුම් යවන විට ලේන්සුවක් භාවිතා කිරීම (හෝ ටිෂූ කඩදාසියක් භාවිතා කිරීම),
ශ්වසන ආසාදන සහිත රෝගීන් භාවිතා කරන දෑ විධිමත් ලෙසට (ආසාදන නොපැතිරෙන ලෙසට) ඉවත් කිරීම, රෝගීන්ගේ කටයුතු කිරීමෙන් හෝ ඇල්ලීමෙන් පසු වාගේම, පිටත ස්ථානයකට ගොස් පැමිණි පසු, හොඳින් සබන් හෝ විෂබීජ නාශකයක් යොදා දෑත් සේදීම, ශ්වසන ආසාදනයක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ සෙනඟ ගැවසෙන ස්ථානයකට යන්නේ නම් මුව වැස්මක් භාවිතා කිරීම,
උතුරවා නිවාගත් ජලය වැඩිපුර පානය කිරීම, ඕව ඉතිං කරන්න අමාරු දේවල් නෙමෙයි නෙ…

වෛද්‍ය බී.එම්.සී දසනායක, වෛද්‍ය අධිකාරී
මූලික රෝහල දියතලාව

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *