සමනලවැව කිංචිගුණේ දියවර ගම්මාන රක්ෂිතය දේශපාලන මැරයෝ වනසති

බළන්ගොඩ සමනලවැව පොලිස් බල ප්‍රදේශයට අයත් කිංචිගුණේ දියවර ගම්මානය ආශ්රිත මහතැන්න රක්ෂිත වන බිම දේශපාලන පක්ෂයක ආධාරකරුවන් පිරිසක් විසින් වැනසීමට පටන් ගෙන තිබේ. සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය ආසන්නයේ පිහිටා ඇති අක්කර දහයක් පමණ භුමියක පැතිරුණු මෙම රක්ෂිතයේ දඹගහමඩිත්ත නම් තෙත් බිමෙහි ජල උල්පත්වලින් පවුල් සිය ගණනකට පානීය ජලය සපයන අතර විශ්ව විද්‍යාලයේ කෘෂි ගොවිපළ තෙත් බිම් සංරක්ෂණයටද වනය වැදගත් වේ. ප්‍රදේශවාසීන් නුවන් සහ සමන් නමින් හඳුන්වා දුන්, මැර ක්‍රියාවලට ප්‍රසිද්ධියක් උසුලනු ලබන්නේ යැයි කියන පුද්ගලයන් දෙදෙනා විසින් මේ වන විට රක්ෂිත වනයේ අක්කර කිහිපයක යටි රෝපණය හෙළි කොට ඇල්බීසියා හා ගම්මිරිස් වගා කොට ඇත. මීට ඉහත ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කළ විට ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ තමන් වසමේ ග්‍රාම නිලධාරිවරයාගේ අනුදැනුම මත වනය හෙළි පෙහෙලි කළ බවයි. කෙසේවෙතත් එහිදී පොලීසිය ලබා දුන් උපදෙස් මත වනය හෙළි කිරීම අත්හිටුවන්නට ග්‍රාම නිලධාරිවරයා පොරොන්දු වී තිබුණත් එය සිදු කරන්නට ඔහු අසමත් ව ඇත.
මේ වනවිට භුමිය හෙළි පෙහෙලි කොට ගම්මිරිස් වගා කිරීමට අමතරව සුවිසල් ගස්වල පොතු වට ඉවත් කරමින් ඒවා මිය යන්නට සැළැස්වීමද ජාවාරම්කරුවන්ගේ උපක්‍රමය වී තිබේ. මෙම රක්ෂිත බිමෙහි ඇති ඒකදේශික මා වේවැල් හා හීන් වේවැල් බහුල කොටසකට ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් මෑතකදී ගිනි තබා තිබුණු අතර ග්‍රාම නිලධාරිවරයා ඒ පිළිබඳව සොයා නොබලන බවද වාර්තා වේ. වනය විනාශ කරන එක් පුද්ගලයෙකුගේ පියා රාජාලියා ලකුණෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අතර ඔහු සහ ඉඹුල්පේ ප්‍රදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුගේ සහාය වනය හෙළි කරන පුද්ගලයන්ට ලැබෙන බවද බිය නිසා අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති ප්‍රදේශවාසීහු පවසති.

ejournalist වෙබ් අඩවිය මෙම වන විනාශය සිදුවන අන්දම නිරීක්ෂණය කරන අවස්ථාවේ සමනලවැව පොලීසියේ ස්ථානාධිපති චින්තක විජේසිංහ මහතා සිය නිලධාරීන් දෙදෙනෙකුද ස්ථානීය පරීක්ෂාවකට පිටත් කොට එවා තිබූ අතර වනය ගිනි තැබූ පිරිසට අද (14) දින පොලීසියේ පෙනී සිටින මෙන් උපදෙස් ලබා දීම සිදු විය. ඒ අතර ඉඹුල්පේ අඩවි වන නිලධාරිවරයාද අද උදෑසන වන විට අදාල ප්‍රදේශයට නිලධාරීන් පිටත් කර යවා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා විය. කෙසේවෙතත් ප්‍රාදේශීය දේශපාලන මැරයන් සිදු කරන විනාශය නවතා ලීමට පියවර නොගතහොත් ඉදිරියේදී උග්‍ර ජල හිඟයක් ඇතිවනු ඇතැයි ප්‍රදේශවාසීහූ බිය පළ කරති.
නිමල් අබේරත්න – ප්‍රදේශයේ සංචාරයකින් පසු