සතොස ජනයා ගසා කනවා – කොවිඩ් පාලන කමිටුවේදී මධ්‍යම ආණ්ඩුකාරවරයා කියයි.

ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවේ සතොස මගින් අර්තාපල් අල ඇතුළු ඇතැම් භාණ්ඩ වැඩි මිලට අළෙවි කරන බවත් මේ අවස්ථාවේ ලාභයට වඩා සැවොම ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ ජනතා සේවයට බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.
නුවරඑළිය,වැලිමඩ ආදි ප්‍රදේශ වලින් අල කිලෝව රුපියල් 130.00 ක පමණ මිලකට ගතහැකිව තිබියදී සතොසේ අල කිලෝවක් රුපියල් 225.00 ක් වන බවත් ඒ මහතා කීය.
මධ්‍යම පළාත් කොවිඩ්-19 ව්‍යාප්ති පාලන කමිටුව පෙරේදා (20) පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවනාගාරයේදී රැස්වූ අවස්ථාවේ ගමගේ මහතා මේබව පැවසුවේය.
මහනුවර නගරාධිපති කේසර සේනානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් උපාලි රණවක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම් ඩී.එච්.එන්. ජයවික්‍රම යන මහත්වරුන් සහ අමාත්‍යංශ ලේකම් වරුන්, ආයතන ප්‍රධානීන් දිස්ත්‍රික් අතිරේක ලේකම් වරුන්,ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
රජය ඇඳිරි නීතිය යම් ප්‍රමාණයකට ලිහිල් කරනු ලැබුවේ ක්‍රමානුකූලව ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමට බවත් කොවිඩ්-19 බිය තවමත් මුළුමනින්ම පහව ගොස් නොමැති නිසා ජනතාව එම නිදහස අයුතු ලෙස බුක්ති විඳීමට උත්සාහ නොකළ යුතු බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසුවේය.
මහනුවර අකුරණ ප්‍රදේශයෙන් අවසන් කොරෝනා රෝගීයා හමුවී මේවන විට සති තුනකට වඩා වැඩි කාලයක් ගතව තිබෙන බවත් එම ප්‍රදේශයට පිටතින් කිසිදු රෝගියෙකු හමු නොවීම නිසා මහනුවර තත්ත්වය යහපත් බවට උපකල්පනය කළහැකි බවත් හෙතෙම කීවේය.
එසේ වූ පමණින් අප දැන් රෝගයෙන් නිදහස් කියා කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවත් මාසයකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය තුළ සිටියදී කළ නොහැකි සියලු දේ මේ අවස්ථාවේ කරන්නට යාමෙන් සිදුවන්නේ රට අනතුරට පත්වීම බවත් ඒ මහතා කීය.
මධ්‍යම පළාත තුළ 8069 දෙනෛකු නිරෝධායනයට ලක්කර තිබෙන බවත් ඔවුන් අතරින් 80% ක පමණ පිරිසක් මේවන විට සමාජානුයෝජනය කර තිබෙන බවත් ආණ්ඩුකාරවරයා පැවසුවේය.
මෙහිදී අදහස් දැක්වූ මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා මහනුවර රෝහලේ පී.සී.ආර් පරීක්ෂණ 1601 ක් සිදුකර තිබෙන බවත් එහිදී කොවිඩ්-19 ආසාධිතයින් ලෙස පුද්ගලයින් 32 කු හඳුනාගත් බවත් කීය.
මේ අතරින් හත් දෙනෙකු අකුරණ ප්‍රදේශයේ පුද්ගලයින් බවත් සෙසු සියලු දෙනා මධ්‍යම පළාතින් පිටත රෝහල් වල හා නිරෝධායන මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් හා නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවත් අධ්‍යක්ෂවරයා පැවසුවේය.
ඇඳිරි නීතිය පනවා තිබීම නිසා මෙවර අලුත් අවුරුදු සමයේදී හදිසි අනතුරු වලින් තුවාල ලැබූවන් රෝහලට ඇතුළත් කිරීම ඉතා පහළ අගයක තිබූ බවත් කෝවිඩ්-19 වසංගත පාලනයට රෝහල මගින් ගෙනයන කටයුතු වලට මෙය ඉතා පහසුවක් වූ බවත් කී රත්නායක මහතා ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ හදිසි අනතුරු ඉහළ ගියහොත් විශාල ගැටලු මතුවිය හැකි බවද අවධාරණය කළේය.
ජාතික රෝහලේ සායන වලට අත්‍යවශ්‍ය රෝගීන් පමණක් හැර සෙසු අය පැමිණීමට උත්සාහ නොකළ යුතු බවත් ඔවුන්ට අවශ්‍ය ඖෂධ මාස තුනක කාලයක් සඳහා තැපැල් මගින් ලබා දීමට පියවර ගෙන තිබෙන බවත් ඒ මහතා කීය.
උගුර,කන,නාසය හා අක්ෂි සායන මේවන විට ක්‍රියාත්මක නොවන බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය.
මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා කතා කරමින් අකුරණ නගරය මැයි මස 03 දින දක්වා විවෘත නොකිරීමට තීරණය කර තිබෙන බව කීය.
අන්තර් මෝසම සක්‍රීය වීමත් සමඟ ඉදිරි මාස කිහිපය තුළ ඩෙංගු රෝගය වර්ධනය වීමේ අවධානමක් තිබෙන බවත් කොවිඩ්-19 ගැටලුවත් සමඟ ඩෙංගු හිස එසවුවහොත් ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බවත් කී ඒ මහතා ජනතාව තම වටපිටාව ගැන අවධානයෙන් සිට මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන්නේ නම් එය සෞඛ්‍ය අංශ වලට පහසුවක් වනු ඇති බවද අවධාරණය කළේ.