ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල ෆෙඩරල් උසාවි නඩුවෙන් ජය ලබයි

 ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල   ෆෙඩරල් උසාවි නඩුවෙන් ජය ලබයි

ක්‍රිස්මස් දූපතේ රඳවා සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල ඔස්ට්‍රේලියා ෆෙඩරල් උසාවියේ විභාග වූ නඩුවෙන් ජය ලබා ඇති අතර, ඔවුන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමකට මුහුණ නොදෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නඩුව විභාගයට ගත් උසාවිය ඔවුන්ගේ දෙහැවිරිදි දියණියට ඔස්ට්‍රේලියා පරිපාලනය සාධාරණ ලෙස සළකා නැතැයි තීන්දු කළේය.

උසාවිය මෙම දරු දෙදෙනා සහ ඔවුන්ගේ මාපියන් වන නඩේෂ් සහ ප්‍රියා පිටුවහල් කිරීම ඕස්ට්‍රේලියානු රජයට තහනම් කර තිබේ. ඔවුන් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් බේරී පිළිවෙලින් 2012 සහ 2013 දී බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට පැමිණියහ. අනතුරුව එරට දී විවාහවීමෙන් පසු
ඔවුන්ගේ දියණියන් වන කොපිකා (වයස අවුරුදු හතර) සහ තාරුණිකා (වයස අවුරුදු දෙකකි) උපත ලබා ඇත.

එරට ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් කියා සිටියේ මේ පවුල සරණාගතයින් නොවන බවත් ඕස්ට්‍රේලියානු ආරක්ෂාව ලැබීමට සුදුසු නැති බවත්ය.

“ඔවුන් මෙහි පැමිණියේ බෝට්ටුවෙන්. ඔවුන් සරණාගතයින් නොවන බව පිළිගැනීමට මම කැමතියි, ඔවුන්ට අපේ රටෙන් ආරක්ෂාව ලැබිය යුතු නැහැ” යැයි මේ සම්බන්ධව සිය අදහස් දක්වමින් ඩටන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබිණි.

මධ්‍යම ක්වීන්ස්ලන්තයේ නගරයක් වන බිලෝලා හි පිහිටි නිවසින් රැගෙන ගොස් වසර දෙකකට වැඩි කාලයක් හතර දෙනකුගෙන් යුත් ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල ඕස්ට්‍රේලියානු රජය විසින් ක්‍රිස්මස් දූපතේ රඳවා තිබිණි.

සරණාගත විරෝධී “දේශසීමා ආරක්ෂණ” ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ඕස්ට්‍රේලියාවේ ලිබරල්-ජාතික සන්ධාන රජය උත්සාහ කළේ මෙම පවුල ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට සහ උසාවියේදී ඔවුන්ගේ අභියාචනා අවලංගු කිරීමට ය.

සරණාගතභාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ වසර ගණනාවක් රැඳී සිට ඇති මෙම ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවළ එරට දී දරුවන් දෙදෙනෙකුට උපත ලබාදී ඇති අතර ඔවුන් දෙදෙනා මේ වන විට සිව් හැවිරිදි සහ දෙහැවිරිදි වියේ පසුවන්නන් බව සදහන් ය.

ඔවුන්ට සරණාගත භාවය ලබාදීම එරට රජය ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට පසුගියදා පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණි. එම තිරණය අධිකරණය මගින් අත්හිටුවීමත් සමඟ ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල සහ දරුවන් දෙදෙනා රැගත් යානය යළි ඔස්ට්‍රේලියාව බලා හරවා යැවුණු අතර ඔවුන් ඉන්පසු ක්‍රිස්මස් දූපතේ සරණාගත කඳවුරක රඳවා තැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *