ශවේන්ද්‍ර සිල්වා සහ පවුලේ අයට ඇමරිකාවෙන් තහංචි.

අපේ රටට එන්න එපා පොමිපියෝ කියයි.
යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සිය රටට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදෙන බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා. 2009 යුද්ධයේ අවසන් අදියරෙහිදී සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ඔහු සම්බන්ධ නිසා මෙවැනි තීන්දුවක් ගත් බවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල්. ආර්. පොම්පියෝ පවසන්නේ, එවැනි චෝදනා ඇති තැනැත්තන් හා පවුල්වල සාමාජිකයින් පුද්ගලිකව හා ප්‍රසිද්ධියේ නම් කිරීම එරට නීතියට අනුකූල වන අතර ඔවුන් එක්සත් ජනපදයට ඇතුළුවීම අවහිර කෙරෙනු ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි,
“මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් රඳවා තබා ගැනීම, ආරක්ෂක අංශවලට අදාල ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාම සහ යුක්තිය හා සංහිඳියාව ඇති කිරීම සඳහා වන අනෙකුත් කැපවීම් තහවුරු කරන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු” යැයිද සඳහන් වේ.
එසේම, “ශ්‍රී ලංකා රජය සමඟ අපගේ හවුල්කාරිත්වය සහ ශ්‍රී ලාංකික ජනතාව සමඟ අප බෙදා හදා ගන්නා දිගුකාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අපි බෙහෙවින් අගය කරමු. එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සහ වර්තමාන හා මතුවෙමින් පවතින තර්ජනවලට මුහුණ දීම සඳහා එහි ආරක්ෂක අංශ නැවත සකස් කිරීමට උදව් කිරීමට කැපවී සිටී. අපගේ පුහුණුව, ආධාර සහ කටයුතුවල මූලික අංගයක් ලෙස මානව හිමිකම්වලට ගරු කිරීම ආරක්ෂක සහයෝගීතාව සඳහා අවශ්‍ය වන බව දිගටම අවධාරණය කරනු ඇත” යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වේ.