වෝහාරික විගණන වාර්තාව සභා ගත කරන්නැයි ජ.වි.පෙ ඉල්ලයි

 වෝහාරික විගණන වාර්තාව සභා ගත කරන්නැයි ජ.වි.පෙ ඉල්ලයි

රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ සහ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ අනුව ශ්‍රී ලංකා මහබැංකුව විසින් සකස් කරන ලද මහබැංකු ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මෙම පාර්ලිමේන්තු සැසිවාරය තුළදීම සභාගත කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටියහ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, නිහාල් ගලප්පත්ති, නලින්ද ජයතිස්ස, සුනිල් හඳුන්නෙත්ති, සහ බිමල් රත්නායක යන මන්ත්‍රීවරු එම ලිපියට අත්සන් තබා ඇත.
එම ලිපියේ මෙසේද සඳහන් වේ.
“ මෙම වෝහාරික විගණනයේ අවශ්‍යතාව වූයේ බැඳුම්කර ගනුදෙනුවල සිදුවී ඇති අධිකරණමය ස්වභාවයේ නීතිමය දඬුවම් පැමිණවිය හැකි වැරදි , අයථා ගනුදෙනු හා එම අක්‍රමිකතාවන්ට වගකිවයුතු පුද්ගලයින් හඳුනා ගැනීමය. නීතිපතිතුමාගේ අර්ථකථනයක් නිසා එය පාර්ලිමේන්තුව හමුවේ තැබීම වැළැක්විය නොහැකි බව අපගේ අදහසයි.
මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනුව මගින් වංචා කරනු ලැබ ඇත්තේ මහජන මුදල්ය. එම වංචාව සිදුවී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලට නම් එයද එකතු කර ඇත්තේ මහජනතාවය. එහි පාඩුවද මහජනතාවටමය”
එසේම පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය නීතිපතිවරයාගේ අභිමතයකින් වැළැක්විය නොහැකිය. නීතිපතිතුමා දන්වා ඇත්තේ එතුමාගේ මතයකි. එය පිළිගැනීම හෝ නොපිළිගැනීම පාර්ලිමේන්තුව සතු වගකීමකි. යනුවෙන්ද සඳහන් එම ලිපියෙන් මෙම පාර්ලිමේන්තු රැස්වීම් සැසිවාරය තුළදීම වෝහාරික  විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර මහජනතාවට කරුණු අනාවරණය කිරීමට මැදිහත් වන ලෙස ද ඉල්ලා සිටී.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *