වෙල්ලස්ස නායකත්වයට ශෂීන්ද්‍ර රාජපක්ෂ

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායමේ නායකත්වය ශෂීන්ද්‍ර රාජපක්ෂට හිමිව තිබෙනවා. ඒ අනුව ඔහු ඇතුළු පිරිස නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම අද (11) පෙ.ව 11.50ට යෙදුනු සුබ මොහොතින් සිදුවුණා. එම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු කථානායකවරයෙකුද වන ඇමති චමල් රාජපක්ෂද එක්ව සිටියා. ඌව පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ චමල් රාජපක්ෂගේ වැඩිමල් පුත්‍රයායි. 2015 දී ඔහුගේ දෙවන ප්‍රධාන අමාත්‍ය ධූර කාලය සම්පූර්ණ කිරීමට නොලැබුණේ පැවති මහින්ද රාජපක්ෂ රජය මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු ඌව පළාත් සභාවේ සිදුවූ බලහුවමාරුව හේතුවෙනි.
මේතාක් ඌව පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබමින් ජයගත් අපේක්ෂකයා වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ වන අතර ඔහුගේ ධූර කාලය තුළ අධ්‍යාපනය නැංවීම, ගැමි ජනයාට විදුලිය සැපයීම වැනි ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානයක් යොමු වුණා. එසේම පළාත් පාලන ක්ෂේත්‍රයේ අතුරු ව්‍යවස්ථා සැකසීම වැනි නෛතික කරුණු කෙරෙහිද අවධානය යොමු කෙරුණු බව දක්නට ලැබෙනවා.
මෙවර ශෂීන්ද්‍ර රාජපක්ෂ කණ්ඩායම් නායකත්වය දරන මොනරාගල දිස්ත්‍රික්කයේ මීට පෙර පැවති සෑම මැතිවරණයකදීම වැඩි ඡන්දයෙන් ජය හිමි වූයේ කාලානුරූපව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධානත්වය දැරූ පොදුජන එක්සත් පෙරමුණට හෝ එක්සත් ජනතා නිදහස් සංධානයට වන අතර පසුගිය මැතිවරණවලදී පොහොට්ටුව හෙවත් පොදුජන පෙරමුණට ජය හිමිවුණා. මේවනවිට එවක මොනරාගල ඡන්ද සටනේ දක්නට ලද මුල්පෙළ චරිතයක් වූ විජයමුනි සොයිසා එක්සත් ජාතික පක්ෂයට එක්ව කටාන ආසනය නියෝජනය කරන අතර එකල කණ්ඩායම් නායිකාව වූ සුමේධා ජයසේන ශෂීන්ද්‍ර රාජපක්ෂ යටතේ තරඟ වදිනවා.
මොනරාගල පොහොට්ටුවට සිටින ප්‍රධානතම ප්‍රතිවාදියා වන හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සමගි ජන බලවේගයේ ප්‍රධාන නියමුවෙක් වන නමුත් ඔවුන් සහ රනිල් වික්‍රමසිංහට සහය දෙන එක්සත් ජාතික පක්ෂය අතර මතගැටුම් නිමා වී නැහැ.