විසුරුවා හැරීමේ ප‍්‍රකාශනය දැන් බලරහිතයි. පාර්ලිමේන්තුව කැඳවන්න. කිරිඇල්ල කතානායකගෙන් ඉල්ලයි.

Covid – 19 මර්ධනයට රජය ගෙනයන වැඩපිළිවෙලට අවශ්‍ය සහයෝගය ලබාදීමට විපක්ෂය සූදානම්.
මාර්තු මස 02වෙනි දින සිදුකළ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ප‍්‍රකාශනය දැන් බලරහිත බැවින් වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට තමන් කතානායකතුමාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ හිටපු සභානායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය. විසුරුවා හැරීමේ ප‍්‍රකාශනය බලරහිත බැවින් කතානායකතුමාට නැවත පාර්ලිමේන්තුව කැඳවීමේ බලතල හිමිවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප‍්‍රකාශනයේ මැතිවරණය පැවැත්විය යුතු දිනය ලෙසට අපේ‍්‍රල් මස 25දින සඳහන් කොට තිබූවත් රටේ පවතින තත්වය අනුව එම දිනය ජූනි මස 20 වන දිනය ලෙසට සංශෝධනය වීම හේතුවෙන් පැහැදිලිවම පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ප‍්‍රකාශනය බලරහිත වන බව හිටපු සභානායකවරයා අවධාරණය කර සිටී.
පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව විපක්ෂයක් ලෙස රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරිමට බලාපොරොත්තු වන බවත් කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට රජය ගෙනයන වැඩපිළිවෙල සඳහා අවශ්‍ය වන මුදල් ප‍්‍රතිපාදන මෙන්ම නීතිරීති සම්පාදනය කිරිම සඳහාද විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බවද හිටපු සභානායකවරයා ප‍්‍රකාශ කරයි.
2018 ඔක්තෝම්බර් මස එවකට හිටපු ජනාධිපතිවරයා නීති විරෝධිව පාර්ලිමේන්තුව විසුරුවා හැරි නමුත් කතානායකවරයා ස්ථාවරව සිට නීතිවිරෝධි විසුරුවාහැරීම පිළිනොගැනීම හේතුවෙන් යහපාලන රජයම නැවත බලයේ පිහිටුවීමට එවකට ජනාධිපතිවරයාට සිදුවුණු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.