විශ්ව විද්‍යාල සේවකයන් සහ බඩු යොදාගෙන ගෙයක් හැදූ පේරාදෙණියේ ලේඛකාධිකාරි රස්සාවෙන් දොට්ට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී සමන් රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු සේවයෙන් නෙරපා හැරීමට එම විශ්ව විද්‍යාලයේ පාලක සභාව පියවර ගෙන තිබේ.

සේවයෙන් නෙරපාහරින ලද පිරිස අතර විශ්ව විද්‍යාලයේ වැඩ  ඉංජිනේරු පුෂ්පික පණ්ඩිතරත්න සහ වැඩ අධිකාරි යූ.බණ්ඩාරනායක යන අයද සිටිති.

ලේඛකාධිකාරිවරයාට අයත් රිවර්ටන් ප්‍රදේශයේ පිහිටි නිවසේ අලුත්වැඩියා කටයුත්තක්  සඳහා පසුගිය දෙසැම්බර් මස දිනක විශ්ව විද්‍යාල සේවක පිරිසක් රාජකාරී වේලාවේ යොදා ගැනීමත් ඒ සඳහා විශ්ව විද්‍යාල වැඩ දෙපාර්තුමේනතුවට අයත් උපකරණ තොගයක් අනුමැතියකින් තොරව ලබා ගැනීමත් යන චෝදනා මත ලේඛකාධිකාරිවරයාට,ඉංජිනේරුවරයාට සහ වැඩ අධිකාරිවරයාට එරෙහිව පරීක්ෂණයක් සිදු කෙරෙමින් තිබිණි.

අදාළ නිවසේ විශ්ව විද්‍යාල සේවක පිරිස සේවයේ නිරතව සිටියදී රජයේ විගණන අංශ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිද්ධිය අතටම අල්ලාගෙන තිබුණු අතර චෝදනා ලත් පිරිස ඊට එරෙහිව කළ කරුණු දැක්වීමට අනුව පාලක සභාව මගින් පරීක්ෂණයක් සිදු කරනු ලැබීය.

වැඩ ඉංජිනේරුවරයා සහ වැඩ අධිකාරිවරයා විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සේවයක් සඳහා අදාළ පිරිස යොමු කරන බව සටහන් වලට දමා ඔවුන් ලේඛකාධිකාරිවරායගේ නිවසේ සේවය සඳහා යවා  තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබිණි.

සේවයෙන් නෙරපා හරින ලද තිදෙනාම ඔවුන්ගේ තනතුරු වලට අලුතින් පත්ව පරිවාස කාල සීමාවක් ගත කරමින් සිටි අය බව මේ සම්බන්ධව කළ විමසීමකදී විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය.

විශ්ව විද්‍යාල වැඩ අංශයේ සේවයට වාර්තා කර ලේඛකාධිකාරිවරයාගේ නිවසේ සේවයට ගිය සුළු සේවකයින් පස් දෙනා සම්බන්ධයෙන්ද මේවන විට පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.