විපක්ෂයට මැතිවරණ දෙන්න ආණ්ඩුව සූදානම් අගමැති පවසයි
මැතිවරණ කොමිසමක් ස්ථාපිත කර තිබෙන්නේ මැතිවරණ පැවැත්වීමට බවත් එහි සභාපති ප්‍රමුඛ එම නියෝජිතයින්ගේ යුතුකම හා වගකීම ඒ අනුව මැතිවරණ පැවැත්වීම බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොමිසම මැතිවරණය පැවැත්වීමට සූදානම් විය යුතු බවත් තමන්ට පෙනෙන පරිදි ඔවුන් මේවන විට මැතිවරණය පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා කීය. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේබව ප්‍රකාශ කළේය. මේවන විට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ තීන්දුව පැමිණි පසු කොමිසම අදාළ කටයුතු සිදුකරනු ඇති බවද හෙතෙම පැවසුවේය. මැතිවරණ නොපවත්වා හැකිතරම් කල්දැමීමට සාමාන්‍යයෙන් උත්සාහ කරන්නේ ආණ්ඩු පක්ෂය වුවත් අද මේ රටේ ආණ්ඩු පක්ෂය මැතිවරණයක් ඉල්ලද්දී එය කල්දමන්නට උත්සහ කරන්නේ විපක්ෂය බවත් ඔවුන් මැතිවරණයකට බය ඇයි කියන කාරණය මේ රටේ ජනතාව හොඳින් දන්නා බවත් ඒ මහතා කීය. තමන් ඇතුළු කණ්ඩායම විපක්ෂයේ සිටියදී මැතිවරණ නිසි වේලාවට පවත්වන ලෙස නිතර ඉල්ලීම් කළ බවත් අද විපක්ෂය උත්සහ කරන්නේ මැතිවරණ කල්දමා ගැනීමට බවත් හෙතෙම අවධාරණය කළේය. ඉක්මනින් ආණ්ඩුව පෙරළන්න නම් විපක්ෂයක් කළ යුත්තේ හැකි තරම් මැතිවරණ ඉල්ලීම බවද අගමැතිවරයා පැවසුවේය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහල් නිෂ්පාදන වියදම හා අළෙවියෙන් ලබන ලාභය සම්බන්ධ සියලු තොරතුරු රැස්කර සහල් කිලෝවක් අළෙවි මිලක් නියමකර තිබෙන බවද මහින්ද රාජපක්ෂ මහතා කීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සිදු කෙරෙන බවත් උඩින් පල්ලෙන් පරීක්ෂණ සිදුකර දෙන්නෙක් තුන්දෙනෙකුට දඬුවම් කරනවාට වඩා වැදගත් වන්නේ එහි අභ්‍යන්තරය නිසිලෙස සොයා ගැනීම බවද ඒ මහතා ප්‍රකාශ කළේය. තවත් ප්‍රහාරයක් එල්ල කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයෙකු ප්‍රචාරයකර තිබූ බවත් ඔහු අත්අඩංගුවට ගෙන මේවන විට ප්‍රශ්න කරමින් සිටින බවත් කී මහින්ද රාජපක්ෂ මහතා සෑම කරුනක් පිළිබඳවම නිසි සොයා බැලීමක් කරන බවද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට හිටපු රාජ්‍ය ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල,ලොහාන් රත්වත්ත,දිළුම් අමුණුගම යන මහත්වරු සහභාගි වූහ.