විනෝද සමය හමාරයි. රෝහණදේව ගෙදර යයි

ලලිත ලතාවට අත්පුඩි ගසමින් තමන් ගුවන්විදුලියට යළිත් විනෝද සමය හඳුන්වා දෙන බව ක්‍රියාවෙන් පසක් කළ රෝහණදේව පෙරේරා ගෙදර යවා ඇති බව තහවුරු වේ.
ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධූරයෙහි රාජකාරි භාරගත් දින සිදුකළ කතාව එලොවටත් මෙලොවටත් නැති විකාර සහගත විහිලුවක් බව ගුවන්විදුලියේ සේවක බහුතරයකගේ අදහසයි. “මාලුවා නහින්නේ, කට හින්දාය” යන පිරුළ සනාථ කළ නූතනයා ඔහු බව ගුවන්විදුලියේ ශිල්පීහු පවසන්නේ එම නිසාය. ඔහු ඉවත් කරන ලද බව වාර්තා වූ විගස අප ඒ පිළිබඳව පුවතක් පළ කළ නමුත් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා එය තහවුරු නොකළ බවද සඳහන් කළෙමු. ඒ අපගේ මාධ්‍ය සදාචාරය සළකා නමුත් රෝහණදේව ගුවන්විදුලියේ අල්ලන්නට යන අඩව් කස්තිරම් පිළිබඳ අපට ඉවෙන් මෙන් දැනුණේ තවත් හඩ්සනියානු යුගයක් ලඟ බව පෙන්වා දෙමිනි. දැනගන්නට ලැබෙන පරිදි මේ රෝහණදේව මහතාද හඩ්සන් සමරසිංහ කාලයේ පෑයූ තාරකාවක් වන අතර ගුවන්විදුලියේ කිසිම දිනක ස්ථීර ශිල්පියෙකු ලෙස සේවය කර නැත. ඔහු කුසලතා දක්වා ඇත්තේ රඟපෑම්වලටය. එහෙත් ඒ පුරාණ ආටක නාටක නූතන ගුවන්විදුලියට උචිත නොවේ.
ගුවන්විදුලිය සොයන්නේ නූතනත්වයයි. දිවයිනේ විශාලතම මාධ්‍ය ජාලය වන එය නංවාලීම සඳහා අවශ්‍ය වන්නේ නූතනය හා පෑහෙන දැනුමයි. වත්මන් අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ කාර්ය මණ්ඩලයේ සම නියෝජනය සහිතව ශ්‍රවන පර්යේෂණ කටයුත්තකින් වැඩ ආරම්භ කිරීම ඒ සඳහා වන සුබ පෙරනිමිත්තක් බව ගුවන්විදුලි සේවකයින්ගේ අදහසයි.
දෙතනගල සුමනපාල