විනාඩි විස්සට කිලෝ නමයක්. මෙන්න තේ කඩන මැෂිමක්

 විනාඩි විස්සට කිලෝ නමයක්. මෙන්න තේ කඩන මැෂිමක්


තේ දලු නෙළීමේ නිරත වතු කම්කරු කාන්තාවන් දිරි ගැන්වීමේ අරමුණින් හේලිස් වැවිලි සමාගම යටතේ පාලනය වන තලවකැලේ,කැලණිවැලි සහ හොරණ වතු සමාගම් වලට අයත් තේ වතු වල සේවය කරන වතු කම්කරු කාන්තවන් අතර පැවැත්වූ දලු නෙළීමේ තරඟයකින් විනාඩි 20 ක් තුළ තේ දලු කිලෝ ග්රෑම් 9.70 ක් නෙළමින් තලවකැලේ වැවිලි සමාගමේ බෙයාර්විල් වත්තේ පදිංචි පලනිසෙල්වි මහත්මිය ජයග්‍රහණය හිමිකර ගත්තාය.
හොරණ වැවිලි සමාගම නියෝජනය කරමින් තරඟයට ඉදිරිපත්වූ තලවකැලේ බඹරකැලේ වත්තේ පදිංචි බෙනඩික් මේරි මහත්මිය විනාඩි 20 ක් තුළ තේ දලු කිලෝ ග්රෑම් 8.45 ක්ද කැලණි වැලි සමාගමේ කමලේෂ්වරී මහත්මිය තේ දලු කිලෝ ග්රෑම් 8.42 ක්ද නෙළමින් දෙවන හා තුන්වන ස්ථාන දිනා ගත්හ.


වැවිලි සමාගම් මට්ටමින් ජයග්‍රාහකයින් තෝරනු ලැබූ අතර තලවාකැලේ, කැලණිවැලි හා හොරණ වතු සමාගම් මගින් ජයග්‍රාහකයින්ට පවුලේ සමාජිකයින් සමඟ ඉන්දියානු සංචාරයක් සමඟ තවත් වටිනා ත්‍යාග රැසක් පිරිනමනු ලැබීය.
හේලිස් වැවිලි සමාගම යටතේ පාලනය වන තලවකැලේ, කැලණිවැලි සහ හොරණ වතු සමාගම් වල තේ දලු නෙළන වතු කම්කරු කාන්තාවන් අතර මූලික වටයේ තරඟ පවත්වා ඉන් තොරාගත් 39 දෙනෙකු අවසන් තරඟයට ඉදිරිපත් කළ බව වැවිලිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති සහ හේලිස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක අචාර්ය රොෂාන් රාජදොරේ මහතා පැවසිය.
නානුඔය රදැල්ල තේ වත්තේ හොඳින් තේ වැඩුණු තෝරාගත් කොටසකදී පෙරේදා (25) මෙම තරඟය පැවැත්විණි.
තේ කර්මාන්තයේ රැකියා වලින් වතු කම්කරුවන් ඉවත්ව යෑමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බවත් වතු කම්කරුවන් දිරි ගන්වා යළිත් ඔවුන් වතු ආශ්‍රිත රැකියා වල රඳවා ගැනිමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කළ බවත් වතු සමාගම් නියෝජිතයෝ පවසති.
තේ දලු නෙලීමේ තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් හේලිස් වැවිලි සමාගමේ සභාපති මෝහන් පණ්ඩිතරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *