විදෙස් ශ්‍රමිකයන් නිරෝධායනයේදී සල්ලි ගසා කන බව ඇත්ත – සෞඛ්‍ය ඇමති කියයි

 විදෙස් ශ්‍රමිකයන් නිරෝධායනයේදී සල්ලි ගසා කන බව ඇත්ත – සෞඛ්‍ය ඇමති කියයි

විදේශ ගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කිරීමේදී  මුදල් ගසා කෑම් සිදුවන බවට  හෙළිවූ තොරතුරු වල සත්‍යතාවක් තිබෙන බවත් එම  වැරදි නිවැරදි කිරීමට අවශ්‍යය පියවර කඩිනමින් ගත් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවත් යම් වරදක් කවුරුන් හෝ පෙන්වා දෙන්නේ නම් එය නිවැරදි කිරීමට රජය කිසිසේත් පසුබට නොවන බවත් ඒ මහතා කීය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යරු ඇතුළු පිරිසක් සමඟ කළ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.කොවිඩ් රෝගීන් හෝ මරණ සම්බන්ධ දත්ත හිතාමතා වෙනස් කිරීමේ කිසිදු නැහැ.හිතාමතා එවැනි දෙයක් කරනවා නම් පෙන්වන්න කියා මම අභියෝග කරනවා.පී.සී.ආර් පරීක්ෂණ 12000 ක් පමණත් ඇන්ටිජන් පරීක්ෂණ 5000 ක් පමණත්  දිනකට කරනවා.කොරෝනා පාලනය කරන්න වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මකයි.පළමු එක තමයි එන්නත්කරණය.එහි සාර්ථකත්වය ගැන මාධ්‍ය කතා කරනවා අඩුයි.මොකද ලෝකයේ අනිකුත් රට වලට සාපේක්ෂව අපි එන්නත්කරණයෙන් ඉතාමත්ම සාධනීය තැනක ඉන්නේ.

හුඟක් දෙනෙක් කතා කරනවා වෙන රටවල් වල කොවිඩ් පාලනය ගැන.අපේ රටේ වෛද්‍යවරු,හෙදියෝ ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල ජීවිත පරදුවට තබලා කරන සේවය ගැන අපි සාධනීය ලෙස බලන්න ඕන.මධ්‍යස්ථාන 800 ක එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව සිද්ධ වෙත්දී දෙක තුනක සිදුවන අඩුපාඩු මාධ්‍ය මගින් පෙන්වනවා. එතකොට හිතෙනවා හැමතැනම ගහ මරා ගන්නවා කියලා. මේක සංවිධානාත්මක ලෙසත් කරනවා. ඇමැති ලෙස මම ඕවා ගණන් ගන්නේ නැහැ. වෛද්‍යරු,හෙදියන්,රාසායනාගාර වෘත්තිකයින් සමඟ අපි සුහඳව කටයුතු කරනවා.ඒ අයගේ දේශපාලන මතවාද අපිට අදාළ වන්නේම නැහැ.අපට අදාළ වන එකම දෙය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් දීමයි.

කොවිඩ් මර්දනයේදී යම් යම් අඩුපාඩු සිදුවිය හැකියි.මුළු ලෝකයේම මේක දකින්න පුළුළුන්.සියයට සීයක් ඉරක් ගැහුවා වගේ හරියට හැමදේම සිද්ධ වෙන්නේ නැහැ.යම් යම් අවස්ථාවල අඩුපාඩු දකින්න පුළුවන්.නොසිතූ මොහොතක ක්ෂණිකව යමක් සිදුවිය හැකියි.සෞඛ්‍ය අංශ එහෙම දේවල් වලට නිරන්තරව මුහුණ දෙනවා.මේවා දෙස මධ්‍යස්ථව බැලිය යුතුයි.අඩුපාඩු දකින්න අවශ්‍යය නම් ඒවාත් හොයන්න පුළුවන්.අඩුපාඩු හොයන අයට ඒවා හොයන්න ඉඩ හැරලා අපි කළ යුතු නිවැරදි දේ කරනවා.රසායනාගාර පරීක්ෂකයින්ගේ හොඳ අදහස් තිබෙනවා.ඒවා ක්‍රියාත්මක කරන්න අපි පසුබට වෙන්නේ නැහැ.විදේශ රටවල සිට එන අය නිරෝධායනය ලක්කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් ගැන ඒ අය සාකච්ඡා කළා.ජනාධිපතිතුමා මේ ගැන කිව්වා.මමත් ඒක දැක්කා.රසායනාගාර කණ්ඩායමෙන් ආවත් ඒ යෝජනාව සාධනීය නම් බිමේ ඇත්තක් කරන්න පුළුවන් නම් අපි ඒක කරනවා.කවුද කියන්න් කියන අපට  වැදගත් නැහැ.

ස්පුට්නික් එන්නත් 12000 මේ සතියේ එන්න ඉඩ තිබෙනවා ඒ සම්බන්ධව කටයුතු කරන වෛද්‍යවරු කිව්වා.ඒක ආවම දෙවන මාත්‍රාව සම්බන්ධ ප්‍රශ්නය විසඳෙනවා.යම් එන්නතක් පාවිච්චි කරලා ඒකේ අඩුවක් නිසා වෙනත් එන්නතක් පාවිච්චි කරනවා නම් ඒකට මික්ස් ඇන්ඩ් මැක්ස් කියලා කියන්නේ.ජර්මනිය කැනඩාව වගේ රටවල් පවා ඒක කරනවා.එහෙම  අඩුවක් වුණාම තවත් සන්නාමයක් සම්බන්ධව පරීක්ෂණ කරලා ඒක ලබා දෙනවා.අපිත් දැන් එහෙම කරන්න අවශ්‍යය පරීක්ෂණ කරනවා.ස්පුට්නික් දෙවන මාත්‍රා තොගය අපිට ලැබෙයි කියන විශ්වාසය තිබෙනවා.ඒ අතරතුර  මික්ස් ඇන්ඩ් මැච් යටතේ ෆයිසර් එක දෙන්න පුළුවන්ද කියන කාරනය සම්බන්ධ විද්‍යාත්මක පදනම සොයා බලනවා.මේවා රූලක් ගහලා කරන්න බැහැ.සත් භාවයෙන් කරන්නේ.බාධාවන් ඇති වෙනවා.අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා.

පාසැල් ළමුන්ට එන්නත ලබාදීම පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වෙන් පැවැති කොවිඩ් කමිටුවේදී සාකච්ඡා වුණා.එහිදී අදහස් දෙකක් මතුවුණා.එකක් අවුරුදු 12 සිට 18 දක්වා දරුවන්ට එන්නත ලබාදී 07 සිට 13 දක්වා පන්ති ආරම්භ කළ යුතුයි කියන එක.තව මතයක් ආවා පෙර පාසැල් සමඟ එකේ පන්තියේ සිට 06 දක්වාවූ පන්ති ආරම්භ කරමු කියලා.පෙර පාසැල් අත්දැකීම ගිලිහුණොත් ඒක කවදාවත් ළමයෙකුට නැවත ලැබෙන්නේ නැහැ.එහි  ප්‍රතිපල භයානක විය හැකි බව අධ්‍යපනඥයින් පෙන්වා දුන්නා. අපි කල්පනා කළා මේ මත දෙකම දරන පිරිස එක තැනකට ගෙනල්ලා සාකච්ඡාවක් කරන්න.ඒ අනුව තීන්දුවක් ගන්නවා පෙර පාසැල් සමඟ එකේ සිට 06 දක්වාද පන්ති පටන් ගන්නවාද නැත්නම් 06 සිට 13 දකවා පන්ති පටන් ගන්නවාද කියලා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අදහසක් තිබුණා 12 සිට 18 දක්වා අයට එන්නත් ලබා දෙන්න.දින හතරකට පෙර ජෝන් හොබ්ස්කින් විශ්ව විද්‍යාල පරීක්ෂණ අනුව 12 සිට 15 දක්වා දරුවන්ට එන්නත ලබාදීමෙන් යම් ආබාධ මතුවිය හැකි යැයි  මතයක් ප්‍රකාශ කළා.ඒ ගැන දැන් පරීක්ෂණ කෙරෙනවා.ඒ මතයත් සමඟ ලෝකයේ දෙමව්පියන් 12 -15 අතර ළමුන්ට එන්නත ගහන්න අකමැත්ත ප්‍රකාශ කළා.අපිට ලෝක මතවාද වලින් බේරී කටයුතු කරන්න බැහැ.අපිටත් ඒක බලපානවා.මේ අනුව පාසැල් පද්ධතිය ආරම්භ කිරීමේ ගැටලුවක් එනවා.හොඳම දේ තමයි අපි කරන්නේ.

සෞඛ්‍ය අංශයේ මූලික වශයෙන් පවතින පුරප්පාඩු වලින් 60 % ක් පමණ හැකි ඉක්මනින් පිරවීමට බලාපොරාත්තු වෙනවා.කොවිඩ්  අසාදනය වෙන සෞඛ්‍ය අංශ වල විශාල පිරිසක් ඉන්නවා.මේ අවස්ථාවේ කැපවීමෙන් රාජකාරී කරන සමස්ත සෞඛ්‍ය සේවයට අපේ ප්‍රණාමය පුදකළ යුතුයි.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු නිසා කිසිදු රෝගියෙකු මරණයට පත්වුණා කියලා අපිට අහන්න ලැබුණේ නැහැ.තෙවන එන්නතක් ලබාදීම ගැන සාකච්ඡා කරලා තිබෙනවා.එය ක්‍රියාත්මක කරනවා නම් ඉදිරි පෙළ අවධානම් කණ්ඩාම් වලට තමයි එහිදී මූලිකත්වය දෙන්නේ. සෞඛ්‍ය,තිවිධ හමුදාව,රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් මෙහිදී ප්‍රමුඛයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න,ප්‍රීමියර් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති ප්‍රසන්න කුලරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *