විකාශන නියාමන කොමිසම මාධ්‍යයට එරෙහි බර අවියක් – විකල්ප කතුවර සම්පත් සමරකෝන්

 විකාශන නියාමන කොමිසම මාධ්‍යයට එරෙහි බර අවියක් – විකල්ප කතුවර සම්පත් සමරකෝන්

යෝජිත විකාශන අධිකාරි පනත ක්‍රියාත්මක වුවහොත් ජනපති හා ආණ්ඩුව විවේචනය කරන මධ්‍ය වලට පැවැතීමේ හැකියාව අහෝසි වන බව මානව හිමිකම් නීතීඥ සුරේන් ඩී පෙරේරා මහතා පවසයි.
මෙම පනත මගින් ඉදිරියේ දී සත්‍ය තොරතුරු මොනවාද අසත්‍ය තොරතුරු මොනවාද යන්න තීරණය කරනු ලබන්නේ පස් දෙනෙකු ගෙන් යුත් කොමිෂන් සභාවකින් බවත් මෙය මෙරට ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට එල්ල වන බලවත් පහරක් බවත් ඒ මහතා කීය.
මහනුවර යටිනුවර වීදියේ ඩෙවෝන් හෝටලයේ දී 22 දා පැවැති මාධ්‍ය හමුවක දී සුරේන් මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහි දී ඒ මහතා මෙසේ ද කීවේය.
විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා කෙටුම්පත අපිට තවමත් දකින්න ලැබුණේ නැහැ. ඒ සම්බන්ධ ලේඛණයක් පමණක් ඇවිත් තිබෙනවා. විද්‍යුත් විකාශන කටයුතු සම්බන්ධයෙන් පිහිටුවීමට යෝජනා කර තිබෙන කොමිෂන් සභාවක් මගින් තමයි තීරණය කරන්න යන්නේ ලංකාවේ මාධ්‍ය මොනවද විකාශනය කරන්න ඕන කියලා. මේ පනත සම්මත වුණොත් සත්‍ය තොරතුරු හා අසත්‍ය තොරතුරු මොනවාද කියලා මේ කොමිසම තමයි තීරණය කරන්නේ. කොමිසමේ සාමාජිකයින් පස් දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ජනපති ඍජුව මැදිහත් වී පත් කරනවා. අනිත් තුන්දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පත් කෙරෙන්නේ ජනපති අනුමැතිය යටතේ යි. සභාපතිවරයා පත් කරන්නේත් ජනපති විසිනු යි. ජනාධිපතිවරයාට විරුද්ධ මාධ්‍ය මර්දනය කිරීම පැහදිලිවම මේ ඔස්සේ කරන්න පුළුවන්. මේක සම්මත වුණොත් දැනට තිබෙන විද්‍යුත් මාධ්‍ය වලට මාස හයක් ඇතුළත බලපත්‍රයක් ලබා ගන්න ඕන ඉදිරියට පවතින්න ඕන නම්. බලපත්‍ර ලබා නොදුන්නොත් ගුවන් විදුලි හා රූපවාහිනි මාධ්‍ය වලට පවතින්න බැහැ. වසරින් වසර බලපත්‍රය අලුත් කරන්නේ කොමිසම යි. ජනපති හා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ විවේචනය කළොත් ඒ අයට බලපත්‍ර ලබා ගැනීම අපහසු වෙයි.

විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක, සමාජ මාධ්‍ය පර්යේෂක සම්පත් සමරකෝන් මහතා මෙසේ කීවේය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යෝජනා කර තිබෙන මේ විද්‍යුත් විකාශන පනත ඕනෑම ප්‍රජාතන්වාදී රාජ්‍යයකට එල්ල කරන්න පුළුවන් ප්‍රධාන උපකරණකින් එල්ල කළ පහරක් විදිහට තමයි අපි දකින්නේ. මේ කෙටුම්පත මගින් ආචාර ධර්ම සම්බන්ධව යෝජනා කර තිබෙනවා. මාධ්‍ය ආචාර ධර්ම සකස් කළ යුත්තේ මාධ්‍ය සමාජය මිස ආණ්ඩුව නොවන බවට සාකච්ඡාවක් පසුගිය 20 වසර පුරා පැවතුණා. ආණ්ඩුව කළ යුත්තේ ඒකට පහසුකම් සැපයීම මිස මේ අකාරයේ මර්දනකාරී පනත් ගෙන ඒම නොවෙයි. ගෝල්ෆේස් විරෝධතාව පමණක් නොව උතුරේ දෙමළ ජනතාවගේත් නැගෙනහිර මුස්ලිම් ජනතාවගේත් අයිතිවාසිකම් වගේම පානම සිංහල ජනතාවගේත් අයිතිවාසිකම් ගැන මිනිස්සු කතා කළාම සෑම ආණ්ඩුවකටම වුවමනා වුණේ මේ සංවාදය නවතා දමන්නයි. ඒ සඳහා අනුගමනය කළ එක් පියවරක් තමයි ජනමාධ්‍ය මර්දනය කරන එක. පසුගිය කාලය තුළ ජනමාධ්‍යයේදීන් ඝාතනය කළා. මාධ්‍ය ආයතන වලට පහර දුන්නා. මේවා වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉෂ්ඨ නොකළ ආණ්ඩුව දැන් උත්සහ කරනවා මාධ්‍ය ආචාරධර්ම කියන වර්ණවත් වෙස් මුහුණට මුවාවෙලා අපරාධ වසා දමන්න.

මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා..තොරතුරු දැන ගැනීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක්. මේ පනත මගින් ඒක උල්ලංඝනය වෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා තිබෙන අය මේ පනත එනවට කැමැතියි. පසුගිය කාලයේ වැරදි ඖෂධ නිසා මහනුවර මව්වරු දෙදෙනක් මියගියා. මේ මරණ සිදුවුණේ කොහොමද ඒවාට වගකිව යුත්තේ කවුද කියන කාරණය දැන ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. පස් දෙනෙකු ගෙන් සමන්වති කොමිසමක් තමයි මීට පස්සේ තීරණය කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව දැන ගන්න ඕන මොනවද නැත්තේ මොනවද කියන එක. අපි මේ පනතට දැඩි ලෙස විරුද්ධ වෙනවා.

තරුණ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ජනිත වැලකලගේ මහතා මෙසේ කීවේය. අපි ත්‍රස්තවාදය කියන වචනයට බයයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නමින් ආණ්ඩුවේ ත්‍රස්තවාදය ඉදිරියට ගෙන යෑම තමයි මේ පනතේ යටි අරමුණ. ජිනීවා මානව හිමිකම් කොමිසම පවා කියලා තිබෙනවා දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පවා අවංලගු කරන්න කියලා. ඊටත් වඩා භයානක පනතක් මේ ආණ්ඩුව ගේන්න උත්සහ කරනවා. යෝජිත පනත හරහා සමාජ මාධ්‍ය භාවිතය පවා වලක්වන්න පුළුවන්. ත්‍රස්තවාදියෙක් කියන්නේ කවුද යන්න සම්බන්ධයෙන් පැහැදිලි නිර්වචනයක් මේ පනතේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට පුළුවන් තමන් ට අවශ්‍යය නම් ඕනෑම කාරණයක් මේ පනත යටතට ඇතුළත් කරලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න. එක්තරා අන්දමින් මේ ඔස්සේ මේ රට පොලිස් රාජ්‍යයක් බවට පත්වෙනවා. සියලු ජනාතාව එකතු වී මේ පනත පරාජය කළ යුත්තේ ඒ නිසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *