වැසි ලකුණු ශාස්ත්‍රය
මෙම ලිපි මාලාවේ පසුගිය සතියේ අපි විවිධ වර්ෂා වර්ග පිළිබඳ දේශීය විග්‍රහය ගැන කතා කළෙමු. මෙවර ඒ ඒ වර්ෂාවට අදාල විවිධ වැසි නිමිති පිළිබඳ දළ අවබෝධයක් ලබා ගනිමු.
වර්ෂාව යනු එක් වරම සිදු වන ක්‍රියාවක් නොවේ. පරිසරයේ සිදු වන බොහෝ විපර්යාස වල අවසාන ප්‍රතිඵලය ලෙස හෝ අතුරු ප්‍රතිඵලයක් ලෙස වර්ෂාව ඇති විය හැක. මෙසේ සිදු වන පාරිසරික වෙනස් වීම් ඉතා තියුණු අධ්‍යනයකින් පසුව ශ්‍රී ලංකාවටම ආවේණික වූ වැසි ලකුණු ශාස්ත්‍රය බිහි වී ඇත. අවාසනාවකට මෙන් මෙම විෂය පිළිබඳව ලියැවුනු බොහෝ පුස්කොල පොත් මේ වන විට ඇත්තේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහිය. එයින් ලබා ගත් තොරතුරු ඇතුළුව වසර ගණනාවක් අධ්‍යනයෙන් සහ ක්ෂේත්‍ර අත්දැකීම්වලින් ලද දැනුම ඔබ හා බෙදා ගනු කැමැත්තෙමි.
මූලික වශයෙන් වර්ෂාව පැමිණීමට පෙර අවට පරිසරයේ සිදුවන වෙනස්වීම් කුලක කොට මෙසේ දැක්විය හැක.
1. වළාකුලු නිරීක්ෂණය
2. සතුන් ගැන නිරීක්ෂණ
3. තුරුලතා නිරීක්ෂණය
4. දේදුණු නිරීක්ෂණය
මෙම නිරීක්ෂණ වෙනවෙනම තනිවම නොව එකිනෙකට එකක් සම්බන්ධ විපර්යාසයන් වේ. සියලු නිරීක්ෂණ වල සම්ප්‍රයුක්තයෙන් ම පමණක් නිගමන වලට එළැඹිය යුතුය.
වළාකුළු මගින් වර්ෂා නිර්ණය – වලාකුළු වැසි ලකුණු ශාස්ත්‍රය
වලාකුළු යනු ජලවාෂ්ප වල එක් අවධියකි. එම ජල වාෂ්ප වල ස්වභාවය අනුව, වලාකුළු ස්ථාන වල පිහිටීම හා පරිසර ස්වභාවය අනුව එ්වා ඝනීභවනය වී වර්ෂාව ඇතිවීමට ගත වන කාලය එකිනෙකට වෙනස් ය. නූතන කාළගුණ විද්‍යාවේ මේවා පිළිබඳ ගැඹුරු හැදෑරීමක් සොයා ගත නොහැකි නමුත් සිරිලක මුතුන්මිත්තන් මේ පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කර ඇත. මෙහි දැක්වෙන්නේ එම දැනුම් සම්භාරයෙන් ඉතිරිව පැමිණි සුළු කරුණු කිහිපයකි.
- ඉන්ද්‍රා දේසේ හෙවත් නැගෙනහිරින් මහත් පා සුළු පා මහත් තොර නා මඬුළු මාරුත් මෙන් සුදු වළා හිරුට පළමුව පෙනේ නම් සත් දවසින් බිම තෙමා වසී.
- හිරු පෙරට ඇතුන් මී වුන් මොණරුන් කිඹුලන් අසුන් මෙන් වළා පෙනේ නම් සතියෙන් වසී
- කෑල මල් ගිනෙර මල්, රත් නෙළුම් මල් ඇත් ගිජු ලිහිණියන් වැහි වළා හිරු පෙරට පෙනේ නම් සත් දවසින් වසි
- හිරු අබියස කැලැති වළා දිය වැනි වළා පෙනේ නම් වැසි හොඳින් වසී
- පුළුන් වැනි වළා හිරු පෙරට පෙනේ නම් සත් දවසින් වසී .
- මුඩ මහණා මල්, පියඹුරු මල් වැනි වළා හිරු පෙරට පෙනේ නම් සත් දවසින් වසී
- අරා වැලි වැනි වළා හිරු පෙරට පෙනේ නම් මහා මේඝයෙන් ගිනිවා වසී.
- කොක් රැල වැනි වලා නම් තුන් දවසින් වසී
- මාරි පලා, මැදිරි, පහන වැනි, පලාවන් වළා මුළු අහස වැසී සිටි නම් තුන් දවසින් වසී.
- සියඹලා රුක් වැනි ලොහෝ වැනි වළා පෙනේ නම්, වැසි නැති වේ. සැමදා දුර්භික්ෂ වේ.
- අරා වැනි වැලි වැනි වළා හිදුලව අතරතුරෙන් රන් වළා පෙනේ නම් තුන් දවසින් වසී
- වරුණ දේසේ (බටහිර) වළා පෙනේ නම් දවස් ගණනකින් වසී කියනු. මැදින් දින කිරිවන් වළා ඇත්නම් වසි .
විවිධ වැසි ලකුණු මතක තබා ගැනීමේ පහසුව පිණිස වැසි ලකුණු ශාස්ත්‍රය කවියෙන් මෙසේ ගෙන හැර දක්වමි. මෙහි විග්‍රහය සමගින් ලබන සතියේ අප නැවත හමුවෙමු.
වැසි ලකුණු ශාස්ත්‍රය
මහේන් සූරී