“වැලි මැස්සාගෙන් වැළඳෙන ලීෂ්මනයිසීස්” දැනගන්න, පරිස්සම් වෙන්න

ජයසිරි පේදුරුආරච්චි

කොරෝනා උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්වෙමින් තිබියදී ඩෙංගු රෝගය ද හිස ඔසවමින් ඇත්තේය. ඒ අතර කලක සිට මෙරට ප්‍රදේශ කීපයක ව්‍යාප්පතවෙමින් තිබූ වැලි මැසි උවදුර අද වන විට දකුණු වෙරළ තීරයේ ප්‍රදේශ රැසක ක්‍රමික ව්‍යාප්තියක් පෙන්නුම්කරන්නේ ඒ කෙරෙහි තිබූ ජනතා අවධානයේ ශීඝ්‍ර අඩුවක් ද පෙන්නුම්කරමිනි.

මෙරට උතුර හා නැගෙනහිර ප්‍රදේශ තුලින් හඳුනාගත් මෙම වැලි මැසි උවදුර අද වන විට දකුණු පළාතේ මාතර, වැලිගම, මිරිස්ස, වෙහෙරහේන, දෙවිනුවර, දික්වැල්ල, බෙලිඅත්ත, තංගල්ල, හම්බන්තොට හා ඇඹිලිපිටිය ප්‍රදේශවලින් ද වාර්තාවෙමින් ඇත.

හෝහපුටුවෙකුට සමාන වැලි මැස්සා (Sand fly) විසින් පතුරුවන ලීෂ්මනයිසීස් පරපෝෂිත  විශේෂය හරහා මිනිසුන්ට ලීෂ්මනයිසීස් නම් චර්ම රෝගය වැළඳෙන බව වෛද්‍ය විද්‍යාත්මකව හඳුනාගෙන ඇත. මේ රෝගී තත්වය බොහෝ විට දකින්න ලැබෙන්නේ නිරාවරණය වී පවතින ශරීරයේ අවයවවලය. වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණ අනුව හඳුනාගෙන ඇත්තේ මුහුණ, කම්මුල්, කන්, නාසය, දෙතොල්, අත් සහ පාදවල වැලි මැස්සාගේ දෂ්ඨ කිරීම් තුළින් මෙම රෝග ලක්ෂණ දකින්න ලැබෙන බවය.

1972 වසරේදී පමණ මුලින්ම වාර්තා වී ඇත් ලීෂ්මනයිසීස් (Leishmaniasis) ලෙස හඳුන්වන චර්ම රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව ආරම්භක අවස්ථාවට වඩා මේවන විට ඉහළ යමින් තිබෙන බව වෛද්‍ය මතයයි.

“තද දුඹුරු මිලිමීටර දෙකක් තුනක් තරම්වූ වැලි මැස්සා (Sand fly) වෙරළ ආශ්‍රිතව ඇති දිරාගිය බෝට්ටු, කොළ රොඩු, කටුමැටි බිත්ති, ලී රොඩු, දිරාපපත්වු දර ගොඩවල් වැනි ස්ථාන වල තමයි බෝවීම සිදුවන්නේ. වැලි මැස්සා බිත්තියේ වැසූ විට උගේ පිහාටු අංශක අනූවට පිහිටා තිබෙනවා. උදේ හයත් හතත් අතර හා සවස හයත් හතත් අතර කාලයේ තමයි වැලි මැස්සාගේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ. වැලි මැස්සා ලේ උරා බීම සඳහා දෂ්ඨ කළ පසු රිදීමක් හෝ කැසීමක් සිදුවන්නේ නෑ. දෂ්ඨ කිරීමෙන් පසු ලීෂ්මනයිසීස් රෝගය ඇතිකරන පරපෝෂිතයා ශරීරයට ඇතුවී හමේ පාටට බුබුලක් වගේ ගැටිත්තක් මතුවෙනවා. එය ක්ෂණිකව ඇතිවන්නක් නොවෙයි. දින කීපයකින් තමයි ඇතිවන්නේ. රතු පැහැයට ලප වගේත් පිහිටනවා. මෙම ගැටිත්ත ඇතිවුනාට පසු එය අඩුවීම වැඩිවීම සිදුවෙනවා. සමහර අයගේ පැසවන තත්වයත් ඇතිවෙනවා. කබොල්ලක් සහිත තුවාලයක් තමයි ඇතිවන්නේ. ඒක කල් පවතින තුවාලයක්. මෙය සමේ ඇතිවන ආසාදන තත්වයක් මත ඇතිවන්නක්. මෙවැනි ලප කීපයක් තියෙන්නත් පුළුවන්.” – තංගල්ල මූලික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය බී. එල්. යාපා මහතා පැවසුවේය. 

මෙම වසරේ ජනවාරි මසමුල් සතියේ සිට ජූලි මස අවසන් සතිය දක්වා කාලය තුළ පුද්ගලයින් එකසිය හැත්තෑ නවදෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් පමණක් වැලිමැස්සාගේ දෂ්ඨකිරීම් නිසා ලීෂ්මනයිසීස් රෝගයට ගොදුරුවී ඇතැයි මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය. එය විශේෂ තත්වයකි.

“මෙම තත්වය මාතර දිස්ත්‍රික්කයේ පමණක් නොවෙයි දකුණු පළාතේ ප්‍රදේශ කිපයකම පැතිර තිබෙනවා. තංගල්ල මූලික රෝහලේ චර්ම රෝග සායනයට දිනපතා රෝගීන් සහභාගීවෙනවා. මේක සම්පූර්ණයෙන් සුවකරන්න පුළුවන් රෝගී තත්වයක්. මම කලින් සඳහන්කළා සේ එක් ගැටිත්තක නොවෙයි ගැටිති කිපයක් තියෙන්න පුළුවන්. එලෙස සිදුවන්නේ වැලි මැස්සා ස්ථාන කීපයකටම දෂ්ඨ කිරීම නිසයි. මෙවැනි තත්වයක් ඇතැවුවහොත් ලඟම තියෙන රෝහලේ සමේ රෝග සායනයට යායුතුයි. එහිදී වෛද්‍යවරයා විසින් එය පරීක්ෂා කර ලීෂ්මනයිසීස් රෝග තත්වය ද යන්න නිවැරදිව නිශ්චය කර ගන්නවා. ඉන්පසු ඒ සඳහා ප්‍රථිකාර ලබාදෙනවා” – විශේෂඥ වෛද්‍ය බී. එල්. යාපා මහතා පැහැදිළි කළේය.

“මට මෙම රෝගය වැළඳුන ආකාරය කෙලින්ම කියන්න බෑ. මම ධීවරයෙක් ලෙස නිතර වෙරළතීරය ආශ්‍රිතව කටයුතු කරනවා. එහිදී වැලි මැස්සා විදින්නට ඇතැයි තමයි වෛද්‍යවරු සැකකළේ. මගේ අතේ ඇතිවූ තුවාලයට ක්ලිනික් එකට ගිහින් දිගට එන්නත් විදින්න සිදුවුනා. දැන් තුවාලය සනීපයි. කැළලක් පේන්න නෑ. වෙලාවට මම තුවාලය ඇතිවෙනකොටම මාතර මහ රෝහලේ සමේ රෝග ඒකකයට ගිය නිසා තුවාලය හොඳට සනීපකරගන්න පුළුවන් වුනා” ධීවර කාර්මිකයකුවූ සඳරුවන් හැන්නදි මහතා පැවසුවේය.

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය බී. එල්. යාපා

ලීෂ්මනයිසීස් රෝගය නිවැරදිව හඳුනාගෙන වහා ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වන්නේය. එසේ නොවුවහොත් කුඩාවට හටගන්නා ගැටිත්තක් බඳු තුවාලය ටිකෙන් ටික වර්ධනය වීමට ඉඩ ඇත. මෙම රෝගී තත්වයට ප්‍රතිකර සිදුකරනා ආකාරය චර්ම රෝග විශේෂඥ වෛද්‍ය බී. එල්. යාපා මහතා මෙලෙස පැවසුවේය.

“ලීෂ්මනයිසීස් රෝග තත්වය නිවැරදිව හඳුනාගත් පසු තුවාලයේ ප්‍රමාණය හා තුවාල ගණන අනුව වෛද්‍යවරයා ප්‍රතිකාර කරන ආකාරය තීරණය කරනවා. නියමිත ප්‍රතිකාර වලින් කැලැල් ඇති නොවන ආකාරයට රෝගය සුවකළ හැකියි. මෙහිදී බොන්න දෙන ප්‍රතිකාර වගේම එන්නත් කරණයත්, ද්‍රව නයිට්‍රික් ග්‍රෑස් මගින් පිලිස්සීමත් කරනවා. සෝඩියම් ස්ටිබොග්ලුකොනේට් (SSG) එන්නත දෙන්නේ තුවාලයේ ප්‍රමානය අනුව. එය තුවාලයට විදීම සිදුකරනවා. එසේ නැත්නම් අතට හා තට්ටම ප්‍රදේශයට එන්නත ලබාදීම සිදුකරනවා. මෙය සතියෙන් සතිය හෝ දිනපතා මාසයක් පුරා ලබාදීම සිදුකරනවා”

මෙය ශරීර අභ්‍යන්තරයට බලපාන්නේදැයි ජනතාව තුළ ඇති සැකයකි. ඒ පිළිබඳව ද විශේෂඥ වෛද්‍ය බී. එල්. යාපා මහතා මෙලෙස පැවසුවේය.

“මේ රෝගය හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර අවයවවලට හානි සිදු වූ රෝගීන් ඉන්දියාව, බංගලාදේශය, නේපාලය වැනි රටවලින් වාර්තා වෙනවා. නමුත් ලංකාවේ එම රෝගී තත්වය බොහෝ විට දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවෙන් එවැනි රෝගීන් අතලොස්සක් වාර්තාවී තිබෙනවා. කලින් හඳුනා ගැනීම තුළ මෙම රෝගය සුවකළ හැකියි. රෝගය සුවකළ හැකිමුත් මෙම වැලි මැස්සා මර්දනය කිරීම සඳහා තවම ලංකාවේ ක්‍රමවේදයක් නෑ. රෝගය ඇති කර නොගැනීමටනම් වැලි මැස්සා ගැවසෙන වෙලාවල් වලට ශරීරය ආවරණය වන ආකාරයට ඇඳුම් ඇඳීම, දරුවන් එවැනි තැන්වලින් ඈත් කර තබාගැනීම, මැස්සන් ගැවසෙන බවට සැකකරන එළිමහන් තැන්වල සිටින විට දරුවන්ගේ ඇඳුම ගැන සැලකිලිමත්වීම , වැලි මැස්සා දෂ්ඨ කිරීම වලක්වා ගැනීම සඳහා යම් ද්‍රාවණයක් ඇඟේ ගැල්වීම හා විශේෂයෙන් මෙම වැලි මැස්සා බෝවන හා රැඳී සිටීමට උපකාරී වන මම පෙර සඳහන්කළ ස්ථාන විනාශ කිරීම සිදුකළ යුතුයි”

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.