වැලිමඩ; මහ වැස්සේ කඩ ගඟේ ගිය හැටි

වැලිමඩ ප්‍රදේශයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගය ආරම්භ වන ස්ථානයේ ඔරලෝසු කණුව ඉදිරිපිට පිහිටි වෙළඳසැල් කිහිපයෙන් එකක් ගැලවී උමා ඔය මධ්‍යයට ඇද වැටී ඇත. පසුගිය වැසි සමයේ මෙම ස්ථානයේ දක්නට ලැබුණු ගිලා බැසීම නිසා අවදානම් ප්‍රදේශයක් බවට හඳුනාගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයෙන් අනතුරු ඇඟවීම් කර තිබුණි. එම නිසා මෙම වෙළඳසැල හා ආශ්‍රිත තවත් වෙළඳසැල් කිහිපයක් භාවිතයට නොගෙන තිබීම හේතුවෙන් ජීවිත සහ දේපල හානි වාර්තා නොවේ.
කෙසේ වෙතත්, මෙම ස්ථානයේ බණ්ඩාරවෙල හා බදුල්ල ප්‍රධාන මාර්ගයේද ඉරිතැලීම් කිහිපයක් දක්නට ලැබේ. යම්හෙයකින් මාර්ගය ආපදාවට ලක් වුවහොත් මධ්‍යම පළාතේ සිට ඌව හා දකුණු පළාත් දක්වා ගමනාගමනය අවහිර වේ. ජනතාව පවසන්නේ ගංගාවේ ගමන් මග වෙනස්ව තිබීම නිසා මාර්ගය පිළිබඳව සැළකිලිමත් විය යුතු බවයි.
මහවැලි ගඟේ අතු ගංගාවක් වන උමා ඔය ගලා යන්නේ වැලිමඩ නගරය මැදිනි. නගරයේ අවිධිමත් ඉදිකිරීම් සියල්ල ගඟෙහි දෙපස ඉවුරුවල ඉදිකොට ඇති අතර ඇතැම් ඉදිකිරීම් ගඟ මධ්‍යයෙහි පිහිටුවා ඇත. විමතියට කරුණ වන්නේ වැලිමඩ ප්‍රාදේශීය සභාව බැලූබැල්මට නීති විරෝධී මෙම ඉදිකිරීම් සැළසුම් අනුමත කර තිබීමයි.
මෙසේ ඉදිකර ඇති සියලු ගොඩනැගිලි වල මළ අපවහනය ඇතුළු සියලු අපද්‍රව්‍ය බැහැර කරන්නේ උමා ඔයටයි. මෙම වෙළඳසැල ගැලවී ගඟට වැටුණු ස්ථානය පවා නිසිලෙස කසල බැහැර නොකරන ස්ථානයකි. විවෘත කිරීමට නියමිත උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙහි වැලිමඩ පුහුල්පොල ජලාශය පිහිටා ඇත්තේ එම ස්ථානයට නුදුරෙනි. ජනතාව පවසන්නේ වැලිමඩ නගරයේ ඉදිකිරීම් ඇතුළු කාර්යය විධිමත් නොකළහොත් උමා ඔය ව්‍යාපෘතියටද අහිතකර බලපෑම් එල්ල විය හැකි බවයි.