වැල්ලවාය පොහොට්ටු සංවිධායකගේ පුතා රෝහලේ. අගමැති පැමිණි රැස්වීමේ මැර ප්‍රහාර
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තණමල්විල සෙවණගල දණ්ඩුම මංසන්ධියේ පෙරේදා (19) පැවති ජන හමුවේදී මැර ප්‍රහාරයකට ලක් වූ වැල්ලවාය පොදුජන පෙරමුණ සංවිධායක හා මෙවර මැතිවරණයේ අපේක්ෂක විමල් ගලගමආරච්චිගේ පුත් ප්‍රාදේශී්‍ය සභා මන්ත්‍රී නීතීඥ දිමුතු ගලගමආරච්චි තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඔහුට පහර දී ඇත්තේ මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින වෛද්‍ය ගයාෂාන් නවනන්දන නමැති නවක අපේක්ෂකයාගේ ආධාරකරුවන් ලෙස රැස්වීම් භූමියට පැමිණ සිටි මැරයන් පිරිසක් බව වාර්තා වේ. අගමැතිවරයා පැමිණි රැස්වීමට බීමත්ව පැමිණි මෙම මැරයන් තමන් ආධාරකරුවන් ලෙස පෙනී සිටින අපේක්ෂකයාගේ අංකය සහිත දැවැන්ත පුවරු වේදිකාව ආසන්නයේම ඔසවාගෙන බාධාකාරී ලෙස හැසිරෙන අවස්ථාවේ ඉන් අපහසුවට පත් වූ අගමැති මහින්ද රාජපක්ෂද තමන් එම පුවරු දුටු බවත් ජනයාට අගමැතිවරයා පෙනේනට සහ තමන්ට වුවමනා පරිදි ජනයා දැකගන්නට අවශ්‍ය බවත් පවසා ඒවා පහතට කරන මෙන් පවසන ආකාරය සඳහන් වීඩියෝ දර්ශන රූපවාහිනී නාළිකාවල ප්‍රචාරය වූ අතර අදාල අපේක්ෂකයාට ඒ සම්බන්ධව අවවාද කර ඇති බවද වාර්තා වේ.
අප වාර්තාකරුවන් සඳහන් කරන අන්දමට සෙවණගල පැවති මෙම රැස්වීම සංවිධානය කර ඇත්තේ, හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ විමල් ගලගමආරච්චි ය. ඊට අපේක්ෂක ගයාෂාන් නවනන්දන සමග සහභාගී වූ ආධාරකරුවෝ විමල් ගලගමආරච්චි රැස්වීම අමතන අවස්ථාවේ හූ කියමින් ඝෝසා කර තිබේ. සිය අපේක්ෂකයාගේ නම කියමින් හා සෙසු පිරිසට අවමන් කරමින් කටයුතු කළ ඔවුන් අසළට ගොස් “අගමැති තුමා ඉන්නා නිසා විනය ගරුකව හැසිරෙන මෙන් ඉල්ලා සිටීමට උත්සාහ දැරීම නිසා නීතීඥ දිමුතු ගලගම ආරච්චිට මැරයන් පහර දුන් බව සිද්ධිය දුටුවෝ පවසති.
මේ වනවිට තණමල්විල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන නීතීඥ දිමුතු ගලගමආරච්චි පැවසුවේ, ඔවුන්ට අවවාද කර තත්ත්වය යහපත් අතට හැරවීමට තමන් උත්සාහ ගත් බවයි. “තාත්තා කතා කරද්දි ඒ අය හූ කිව්වා. මං එතැනට ගිහින් කිව්වා කෑ ගහන්න එපා අගමැති තුමත් ඉන්නවනේ කියල. ඒ වෙනකොට මේ පිරිස හොඳටම මත්පැන් බීලා හිටියෙ. ඉතිං ඒ පිරිස වටවෙලා මට ගහන්න පටන් ගත්තා. අපේ ආධාරකරුවෝ මාව එතැනින් ගෙනැල්ලා රෝහල් ගත කළා. මේ නවනන්දන කියන අපේක්ෂකයා වියත් මගේ කියමින් බොරු කියලා මිනිස්සු මුලා කරනවා. අපි ඔහුගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමී මැතිවරණයට හරස් වෙන්න එපා කියලා විතරයි” යනුවෙන්ද ඔහු පැවසුවේය.