වැඩි පඩි වානා; වතු සමාගම් කියයි

පවතින තත්ත්වය තුළ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000.00 ක් දක්වා වැඩි කළ නොහැකි බව වතු සමාගම් පවසන අතර ඊට පිළියමක් ලෙස රජය ඔවුන් වෙත දීමනාවක් ලබා දීමට සැළසුම් කර තිබේ.
එම නිසා වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් කිරීමට ජනාධිපති ගත් තීරණය සම්බන්ධයෙන් එළඹෙන සතියේ වතු සමාගම් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් පවසයි.
වතුකම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු සමාගම් හා වතු වෘත්තිය සමිති අතර වසර දෙකකට වරක් ගිවිසුමක් අත්සන් කරනු ලබයි.මේ වනවිට වතු කම්කරු දෛනික වැටුප පවතින්නේ රුපියල් 730.00 ක අගයකය.එම මුදලද ගෙවීමට නොහැකි පසුබිමක් තුළ වතු කම්කරු වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීමෙන් වතු සමාගම් දැඩි මූල්‍ය අර්බුදයකට පත්විය හැකි බව එම සමාගම් රජයට පෙන්වා දී තිබේ.