වාහන ඇනවුම අවලංගු කළා – කෙහෙලිය කියයි

රාජ්‍ය ආයතන හා ආමාත්‍යාංශ සඳහා තීරබදු රහිත වාහන ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවමින් අදාළ ඇනවුම සම්පූර්ණනේම අවලංගු කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙය වාහන ආනයනය කිරීමට අවස්ථාවක් නොවන බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට (07) දා යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ඒ අනුව එම වාහන ආනයනය අත්හිටුවීමට රජය මේවන විට තීරණය කර තිබෙන බවත් ඒ මහතා කීය.

මධ්‍යම පළාත් සභා ශ්‍රවානාගරයේදී ඊයේ (12) පැවැති රැස්වීමකින් අනතුවරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වාහන ආනයනය කිරීම අවලංගු කිරීමට පසුගිය 07 දින තීරණය කිරීමෙන් පසු 08 හා 09 දිනවල අදාළ බැංකු සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධව පැහැදිලි එකඟතාවකට පැමිණි බවත් ඒ අනුව ඉදිරි වැඩකටයුතු සිදුවෙමින් පවතින බවත් ජනමාධ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කොවිඩ් ගැටලුව මතුවීමට පෙර රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ වලට අවශ්‍යය වාහන ගෙන්වීමට තීරණය වීමෙන් පසු ඒ සඳහා අවශ්‍යය කටයුතු සැළසුම් කළත් කොවිඩ් ව්‍යාප්තියත් සමඟ මේවන විට රටේ ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මේ මොහොත ඒ සඳහා සුදුසු නොවන බැවින් අදාළ වැඩපිළිවෙළ අවලංගුකර අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

රාජ්‍ය බැංකුවක් මගින් ණයවර ලිපි නිකුත් කර ලැබ තිබෙන තෙවන පාර්ශවයක්ද සම්බන්ධ මෙම ගිවිසුම අවලංගු කිරීම අදාළ තීරණය ගත්  මොහොතේම කළ නොහැකි බවත් ඒ සඳහා පිළිගත් ක්‍රමවේදයක් පවතින බවත් ඇමැතිවරයා පැවසුවේය.

මෙය අවලංගු කිරීමට රජය තීරණය කර තිබියදී ඇතැම් පිරිස් ඒ සම්බන්ධව නොයෙකුත් විවේචනය ඉදිරිපත් කිරීමට පෙළඹී තිබෙන්නේ දේශපාලන කුහකකම නිසාද නැතහොත් මෙය අවලංගු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැතිකම නිසාද යන්න ප්‍රශ්නයක් බවද හෙතෙම අවධාරණය කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.