ව්‍යාජ මල්වතු හිමි අත්අඩංගුවේ

මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු ලෙස පෙනී සිටිමින් විදේශ රැකියා අවස්ථා  ලබාදෙන බව පවසා දිවයිනේ ප්‍රදේශ ගණනාවක සිය දෙනෙකුට වැඩි පිරිසක් රවටා රුපියල් කෝටියක පමණ මුදලක් වංචා කළ බව කියන අයෙකු මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (14) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සැකකරු මල්වතු මහනාහිමියන්ට අමතරව අක්ෂි ශල්‍ය විශේෂඥවරයෙකු,ඉංජිනේරුවරයෙකු,විශ්ව විද්‍යාල ආචාර්වරයෙකු ලෙසද පෙනී සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ දැනුම්දීමක් මත මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මාස තුනක පමණ කාලයක් විමර්ශනය කිරීමෙන් පසු සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. නම් ගණනාවකින් පෙනී සිටි ඇති මෙම පුද්ගලයා  අනුරාධපුර,ගාල්ල,මාතර,මහනුවර,මහරගම,කඩවත,වත්තේගම,තෙල්දෙණිය ආදි ප්‍රදේශ ගණනාවක පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන තිබෙන බවත් මොහු 2016 සිට පදිංචි ප්‍රදේශ වෙනස් කරමින් අදාළ වංචාව සිදුකර තිබෙන බවත් පොලීසිය පවසයි.

යුරෝපීය රටවල් සහ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මෙම පුද්ගලයා මල්වතු මහනාහිමියන් සහ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ ගණනින් ගිණුම් කිහිපයකට මුදල් ගෙන්වාගෙන තිබෙන බව හෙලිව  තිබේ. දික්කසාදව සිටින කාන්තාවන් හා මිතුරුකම් ගොඩනගාගෙන ඔවුන්ගේ ගිණුම් වලට මෙම මුදල් ගෙන්වාගෙන තිබෙන බවත් එවැනි කාන්තාවන් සිව් දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් පොලීසිය පවසයි. සැකකරු හා සම්බන්ධතා පැවැත්වූ එවැනි එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ලබාගත් තොරතුරු මත පොලිස් නිලධාරියෙකු ජපානයේ රැකියා අවස්ථාවක ලබා ගැනීමට අවශ්‍ය බව පවසා සැකකරු හා සම්බන්ධ වී තිබේ. ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකර ඔහු අත්අඩංගුවයට ගෙන ඇත. ඉඩම් විකිණීම සඳහා පුවත්පත් වල පලකරන දැන්වීම් නිරීක්ෂණයකර ඒවාහි අංක වලට අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා ලෙස කතාකර ඉඩම පිළිබඳ විස්තර දැන ගැනීමෙන් පසු තමන් යුරෝපීය රට වලට මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේද  සහය මත පුද්ගලයින් යොමුකරන බව දැනුම් දී මොහු ඔවුන්ව වංචාවට ගොදුරු කරගන්නා බව පරීක්ෂණ මගින් හෙළිවී තිබේ.මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බව කියමින් මෙම පුද්ගලයා එම පුද්ගලයින්ට කතාකර තිබෙන බවද පොලීසිය පැවසීය.

වර්ෂ 1972 උපත ලැබ තිබෙන සැකකරු ග්‍රාම නිලධාරීන්ද නොමඟ යවා 1979 වර්ෂයේ උපන් බවට වෙනත් නමකින් ජාතික හැඳුනුම්පතක්ද සකස්කර ඇත. රැකියා අවස්ථා ලබා ගැනීමට කැමැති වන පුද්ගලයින්ට මොහු විශේෂ පෝරමයක් යොමුකර ඔවුන්ගේ තොරතුරු,ජාතික හැඳුනුම්පතේ හා විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් විද්‍යුත් ලිපිනයක් ඔස්සේ ගෙන්වා ගෙන තිබේ.එම ජාතික හැඳුන්ම්පත් වල ඡායාපිටපත් උපයෝගිකර ගනිමින් ඔවුන්ගේ නම් වලට සැකකරු දුරකතන සිම්කාඩ් මිලට ගෙන ඇත. එලෙස ලබා ගන්නා ලද සිම් කාඩ්පත් 22 ක් සමඟ ජංගම දුරකතන 07 ක් පොලීසිය භාරයට ගෙන තිබේ.අටේ පන්තිය දක්වා පමණක් අධ්‍යපනය ලැබ තිබෙන සැකකරු කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ටිකරයක් සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් පරිහරණය කර තිබෙන අතර එයද පොලිස් භාරයට ගෙන ඇත. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න,මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති එල්.කේ රණවීර,සහකාර පොලිස් අධිකාරී පලිහවඩන යන මහත්වරුන්ගේ උපදෙස් මත දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික විජේරත්න,උප පොලිස් පරීක්ෂකවරුන් වන ගොඩමුන්න, ආරියරත්න,පොලිස් සැරයන්වරුන් වන 2174 ධම්මික,3459 නිශාන්ත,8305 සමරකෝන්,32865 සමරදිවාකර,46971 අතුල,54414 ධර්මරත්න,45189 ලලිත්,කාන්තා පොලිස් සැරයන්වරියන් වන 3712 කුමාරි,4958 රම්‍යා,4580 දර්ශනී,පොලිස් කොස්තාපල්වරුන් වන 84404 වනසිංහ,38442 ඉලංගසිංහ යන නිලධාරීන් විමර්ශනයකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *