වළාලය යටපත් කළ අනුන්ගේ කුණු කන්දල්

එසමයෙහි වලාළය පවත්නේ විය. සමුදුර වුවමනා තරමට නිශ්චලය. ඔරු, කට්ටුමරම්, වල්ලම්, බෝට්ටු ඈ කවර යාත්‍රාවකට වුව ධීවරයින් මත්ස්‍ය අහිනක් වෙත කැඳවා ගෙන යා හැකි පමණින් මුහුද හිතුවක්කාරකම් අතැර යටත්ව සිටියේය. එහෙත් බොහෝ ධීවරයෝ මුහුදටත් වඩා ගොළු ව නිසලව එදෙස බලා සිටියෝ ය. 

පාණදුර වාද්දුවට නොදුරු දකුණු තල්පිටිය සියවසකටත් එහා මාදැල් මත්ස්‍ය  කර්මාන්තයේ උරුමය සුරක්ෂා කළ කෙම් බිමක් වන්නේ අතලොස්සක් බොදු ධීවරයින් සහ බහුතර කතෝලික ධීවරයින් එකම මාදැල් මඩියක රැහැන එකාවන්ව අදින්නට තරම් සමීප කළේ ය. අදද ඔවුහු දම් සක හා කුරුසය වෙරළ අද්දර තබා විත් බඩවියත උදෙසා මාදැල් අදිති.  දැල් මඩිය හිස්ව පවත්නා අන්දම දැක විස්සෝපව වැල්ලේ එකාවන්ව හිඳ සුසුම් හෙළති. වෙරළ තෙර එකම කතාවක් ගොතන්නට සංහිඳියාවෙන් එක්ව සිටිති. ඔවුන් එක්ව ගොතන ඒ කතාවේ බඩ වියත රකින්නට දිවි දුන් බොහෝ මත්ස්‍යයින් නැත. උන්ගේ ගමන අනුන්ගේ කුණු කන්දලින් ඇහිරී ඇත. මේ කතාවේ මාදැල් ධීවරයින් සමය භේදයෙන් මිදුණු සේම ඔවුන්ගේ දිවිසැරිය අවුරන කුණු ද කාගේදැයි යන්න විමසිය නොහැකි වන සේ භේදයෙන් මිදී කළු ගං මෝයෙන් සහ පාණදුර මෝයෙන් පිවිස නොගැඹුරු මුහුද අරක් ගෙන සිටියි. 

දකුණු තල්පිටිය, ග්‍රාමීය ධීවර සංවර්ධන සමිතියේ සභාපතිවරයා ආරියදාස ප්‍රනාන්දු ය. ඒ ඉරිදාවේ හිමිදිරියේ රමණීය හා ධීවරයෙකුට ඔජ වඩන්නට හැකි තරම් වළාල සමයෙක, දිරා යන ලී කොටයකට බර දී වාඩිගෙන උන් ඔහු දශක කිහිපයක් සමුදුර හා ඔට්ටු වූ මාදැල් කාර්මිකයෙකි. මාදැලක අයිතිකාරයෙකි. මණ්නඩි උන්නැහේ කෙනෙකි. මලකඩ නිසා කම්මල් දිස්නය මැකී යමින් පැවති ස්ටෑන්ඩර්ඩ් බයිසිකලය ඔහු වාඩි ගෙන සිටි කොටයේ පිටුපස හේත්තුකර සිටුවා තිබුණි. ආරියදාස ප්‍රනාන්දුගේ මාදැල් සහායකයෙකු තනිය මකන්නට අසල වාඩිවී සිටි නමුත් ඔහු ද නිහඬ ය. සෙසු සහායකයෙක් නිනව්වක් නැතිව වැල්ලේ ඔබ මොබ සරයි. 

වෙරළ පාළුව

“අපි ඩිංගිත්තක් කතා කරමුද?” 

“මොනව කතා කරන්නද?” 

“මේ වාරකනද?” 

“පිස්සුද? මේ වළාලෙ” අපේ කෙටි ප්‍රශ්නවලට ආරියදාස ප්‍රනාන්දුගෙන් ලැබුණේ ද කෙටි පිළිතුරු ය. ඒ කෙටි පිළිතුරු ඔහුගේ සූදානම් වීම ය. ඔහු සතුව දිගු පිළිතුරක් තිබුණි. 

ආරියදාස ප්‍රනාන්දු පළපුරුදු මන්නඩි රාළ කෙනෙකි

“මං දන්න දවසෙ ඉඳලා කෙරුවෙ මුහුදු රස්සාව. අපි හොඳ බෞද්ධයො. ඒත් මේ වැල්ලකරේ කතෝලික මිනිස්සු එක්ක එකතුවෙලා අපි තෝරගෙන තිබ්බ කර්මාන්තෙ මාදැල් ඇදිල්ල. වළාලෙට මාදැලක් ඇද්දම ඒකෙන් පාඩුවක් වුණේ නෑ. මාදැලට අත ගහන පනහක හැටක කාණ්ඩෙ හැමෝටම අතට ගාණක් ඇවිල්ල හොද්දට කන්ඩ මාළු මොනව හරිත් ලැබෙනවා. අමාරුවෙන් වුණත් ඒ හම්බ කරගන්න දේකින් වාරකන් කාලෙත් ජීවත් වෙනවා. හැබැයි දැන් ඒකෙ අනිත් පැත්ත. මේ වළාල සමේ වුණාට වෙරළ පාළුවට ගිහිල්ලා. කවුරුහරි කෙනෙක් දෙන්නෙක් මාදැල් ඇද්දොත් මිස අනෙක් මිනිස්සු දැල් මඩි අකුලලා දාල බලා ඉන්නවා. මුහුද මැරිලා වාගෙ මාළු හරිම හිඟයි. ඉතිං මාදැලක් ඇද්දොත් පංගු බෙදෙද්දි එක දැල් කාරයෙකුට රුපියල් දෙසීයක්වත් ගණං බේරන්න බැහැ. මොකටද එහෙම රස්සාව කරලා.”

බස්නාහිර කලාපීය මේ වෙරළේ නැඟෙනහිර වෙරළේදී මෙන් දැල් අදින්නන් අඩුවෙන් යොදවා මහ ට්‍රැක්ටරයෙන් මාදැල් ඇදිය නොහැකි ය. ඒ වෙරළ වඩා පටු බැවිනි. ඒ නිසා පිරුණු මාදැල් මඩියක් අදින්නට මිනිසුන් පනහක් හැටක් වුවමනා ය. ඒ සා පිරිසකට අත දිගහැර ගෙවන්නට තරම් මාළු නොමැති නම් කළ යුත්තේ දැල් අකුලා තබා මුහුද දෙස බලා සිටීම යැයි ආරියදාස නොකියා කියයි. එහෙත් මාළු, මුහුද හැර යන්නට හේතුව නොකියා සිටින්නට වුවමනාවක් ඔහුට නැත. 

“මේ තල්පිටිය, වාද්දුව මුහුදු තීරේ දෙපැත්තකින් මෝය කටවල් දෙකක් ඇරෙනවා. එකක් කළු ගඟේ. අනික පාණදුර බොල්ගොඩ ගඟේ. ඔය දෙකෙන් ස්වල්ප කුණු කන්දලක් නෙවෙයි මුහුදට ගහන්නෙ. දැන් පහුණු දවස්වල දේශගුණේ එහාට මෙහාට වෙලා කාලගුණෙත් වෙනස්වෙලා. අකලට වැහි ආවම ගං උඩහ තිබ්බ කුණු කන්දල් මුහුදට පාවෙලා ආවා. ඒව පත්ලෙ තැම්පත් වෙලා අමුතු වැලි රැලි හැදිලා. වතුරෙ උෂ්ණ රටාව එහෙම වෙනස්වෙලා. මං මහ ලොකු උගත් මිනිහෙක් නූනට ධීවරයෙක් විදියට අත්දැකීමෙන් කියන්නෙ මෙහෙම වුණාම මාළුන්ට මේ වතුරෙ ඉන්න බැහැ. අනික උන්ගෙ බිත්තර මැරෙනවා. ආං එතකොට අපිත් ඉවරයි. මාදැල් කර්මාන්තෙත් ඉවරයි.” 

මාළු අපිව දාලා ගිහිල්ලා

පාණදුරට දෙපසින් වූ මේ නොගැඹුරු මුහුදු තීරය චිර ප්‍රසිද්ධ වන්නේ හාල්මැස්සන්, සූරපරව්, සාලයෝ, සූඩයෝ වැනි කුඩා මසුන්ට ය. ඔවුන් අල්ලා ගැනීම සඳහා වඩාත් උචිත හා කාලාන්තරයක් තිස්සේ භාවිත වන පාරම්පරික පන්න ක්‍රමය වන්නේ සාමූහිකව මාදැල් එළීමයි. මාදැලක අස්වැන්න බෙදෙනවිට එය සරු වී නම්  හිමිකරුවාට දැල් පංගුව වෙන් කිරීමෙන් අනතුරුව මණ්නඩි රාළට හා සෙසු පිරිසට පංගු බෙදේ. එහෙත් මෑතක සිට දැල් පංගු බෙදීමට තරම් හාල්මැස්සන් මේ මාදැල් මඩි තුළට රිංගන්නේ නැත. හිමිකරුවාට මුදල් නොලැබීමේ ගැටලුව යම්තමින් හෝ මැකෙන්නේ හිමිකරුවාම මණ්නඩි රාළ වන අවස්ථා බහුල නිසා ය. 

මාදැල් අදින්නෙකු වන සුසිල් ප්‍රේමලාල් පෙරේරා කතෝලිකයෙකි. ඔහු බෞද්ධ මණ්නඩිරාළ කෙනෙකු වන ආරියදාසගේ දැලේ පළපුරුදු හා ඉවසිලිවන්ත ඉදිරිපෙළ අදින්නෙකි. මේ දිනවල බොහෝ උදෑසනකාල ආරියදාස හා එක්ව මුහුද දෙස බලා සිටීම සඳහා වෙන් කරන්නට ඔහුටද සිදුව තිබේ.

 “මාළු අපිව දාලා ගිහිල්ලා. හැබැයි මුහුද අපිට නපුරු වෙලා හින්දා නෙවෙයි. මේක අපේ නොපණත්කම්වලට උන් දීපු දඬුවමක්. දැන් පේනවා නේද විඳවන්න වෙනකොට හැමෝටම පොදුවෙ විඳවන්න වෙනවා කියලා. මෑතක ඉඳලා දැලක් ඇද්දම සෑහෙන වෙලාවක් යනවා ප්ලාස්ටික්, පොලිතීන් අහක් කරලා මාළු ටික බේරලා ගන්න. ඒ මදිවට අවුරුදු  හත අටකට කළිං යකඩවලට කපන්ඩ කියලා වරායෙන් බත්තලක් ගෙනැල්ලා මේ ළඟපාත දාලා ගිහිල්ලා. දැන් ඒකත් අපිට හෙණයක් වෙලා තියෙන්නෙ.‘ සුසිල්, ආරියදාසගේ අනුගාමිකයා මෙන්ම ප්‍රධාන සාක්ෂිකරුවා බවටද පත්ව සිටියි. 

මාළුන්ගෙන් කුණු තේරිල්ල 

ඔවුන්ට දිරා යමින් තිබූ ලී කොටය සහ පරණ බයිසිකලය සමඟ ඉන්නට ඉඩ හැර අපි වෙරළ දිග ඉදිරියට ගියෙමු. 

මුහුද දෙස බලමින් සුසුම් හෙලීම හැර කුමක් කරන්නද?

“…හෝයියා…අන්දරේට… නින්ද ගියා..” ඒ සාමූහික අත්වැල් ගායනය සමුද්‍ර ඝෝෂ විරිත සේ ය. ප්‍රිය උපදවන එය සරල තාල හා මාත්‍රාවන් ගෙන් යුක්ත වන්නේ වෙහෙස නිවීම පිණිස ගෙතුණු ජන ගැයුමෙකි. තරමක් ඈතට ඇසෙන මේ ගැයුමේ ඉඟිය අද මාදැලක් ඇදෙනවා යන්නයි. ඇතැම්විට එය මේ දිනයේ  මුළු වෙරළ තීරයේම ඇදුණු එකම මාදැල විය යුතුයි. පසුව දැනගත් පරිදි එහි මණ්නඩිරාළ මෙන්ම හිමිකරුවාද වූ නිහාල් පෙරේරා සහ බොදු කිතුනු තිහ හතළිහක පිරිසට නිස්කාංසුවේ දැල අදින්නට ඉඩදී අපි දෙපැයක් පමණ කල් හැරීමු. කාශ්ඨක අව්වේ ලුණු සුළඟ බීගෙන ඇතැම්විට කරවටක් කරදියේ එබෙමින්ද දැල් රැහැණ දැවටූ උණ බම්බු වැල්ලේ තැන තැන ගෙනයමින්ද මාදැල් ඇදීම පහසු කාර්යයක් නොවේ. ඒ අපාසුව අවසානයේ ලොකු කුඩා මසුන් පිරුණු දැල් මඩිය වෙරළට ඇදගත් විට ඔවුන් සියලු දෙනා ඒ වටා රොක් වූහ. එහෙත් නිමේශයකින් ඔවුන්ගේ මුහුණුවල මැවුණේ අපේක්ෂා භංගත්වයේ සේයාවයි. මාළු අස්වැන්න දුප්පත් තවත් දවසකි. පරව් හතර පස්දෙනෙක්, කටුවල්ලෙක්, රෑණෙක් හැරුණුවිට එහි සිටියේ රුපියල් පහළොස්දහසකට පමණ මිල කළ හැකි හාල්මැස්සන් ස්වල්පයක් පමණි. සරු දිනෙක නම් ඒ අස්වැන්න පස් හය ගුණයකින් වැඩිවිය යුතු ය. ගැටලුව වන්නේ දවසේ ආදායම වන මේ රුපියල් පහළොස් දහස තිස්පස් දෙනෙකු අතර බෙදීමට සිදුවීමයි. 

“දැන් පේනවා නේද අපේ රස්සාවට සිද්ධ වෙමින් තියෙන දේ? වගකියන්ඩ ඕන අය නිහඬව ඉන්නෙ නැතිව යමක් නොකළොත් අපේ රස්සාවත් ඉවරයි. ඔහෙලා මාළු කාලත් ඉවරයි” නිහාල් පෙරේරා පවසයි. ඔහුගේ තර්කය ද මාළු අස්වැන්න අඩුවීම පිටුපස ඇත්තේ අනුන්ගේ කුණු කන්දල් ගැන කතාව බව ය. නිහාල් පෙරේරා හා ඔහුගේ මාදැල් ධීවර නඩය ඒ පිළිබඳ සජීව සාක්ෂි ද අපට සපයා දුන්හ. ඒ පැයකට ආසන්න කාලයක් මාළු තෝරන්නට කාලය ගනිමිනි. වෙනදා මේ මාළු තේරිල්ල වන්නේ එක් මත්ස්‍ය වර්ගයකින් සෙසු මත්ස්‍ය වර්ගයක් වෙන් කිරීම ය. දැන් ඉන් අර්ථවත් වන්නේ මාදැල් මඩියේ ඇති කුණු කන්දල් අතරින් මාළුන් වෙන්කර ගැනීම ය. 

ශ්‍රී ලංකාවට නුදුරින් මළ මුහුදක්

ඉන්දියන් සාගර කලාපයේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට නුදුරින් මළ මුහුදක් නිර්මාණය වී ඇති බව සාගර විද්‍යාඥයන් කියා සිටියේ පසුගිය වසරේ මුල් භාගයේ දී ය. ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අජිවී ස්වභාවය ද ජාත්‍යන්තර විද්‍යාඥයන්ගේ අවධානයට ලක්ව ඇත.

මළ මුහුදක මසුන් බෝ විය හැකි පරිසර පද්ධති විනාශ වෙමින් තිබේ. බැක්ටීරියා හා මුහුදු පණුවන් විශාල වශයෙන් බෝ වෙන්නට පටන් ගෙන ඇත. කොරල්පර වැනසෙන අතර මත්ස්‍යයෝ මියයති. මියගිය මසුන් ආසාදනයට ලක්වීමෙන් සමස්ත ප්‍රදේශයම අපවිත්‍ර වෙයි.  ඉන්දියන් සාගරය එවැනි අවදානමකට ලක් ව ඇත්තේ පළමු වතාවට ය. බෙංගාල බොක්ක අවට මළ මුහුදක් පවතින බව චන්ද්‍රිකා ඡායාරූපවලින් ද හඳුනාගෙන ඇත. 

වර්ග කිලෝමීටර් හැට දහසක මුහුදු ප්‍රමාණයක් මේ සමඟින් අනතුරට පත්ව ඇති බව ගණන් බලා තිබේ.  ඉන්දියන් සාගරයේ පරිමාව වර්ග කිලෝමීටර් විසි එක් ලක්ෂයකට අධික ය. ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්ක අවට කලාපය එහි අවට ඇති රටවල් ද, සාගරය ප්‍රයෝජනයට ගන්නා ප්‍රජාව ද අපවිත්‍ර කරමින් සිටියි. මේ ක්‍රියාකාරකම් තවදුරටත් පැවැතියහොත් මේ මළ මුහුදු සීමාව තවත් වර්ධනය විය හැකි බවට  සාගර විද්‍යාඥයෝ අනතුරු අඟවති.  

ගංගා ඇළ ‍දොළවලට හරවන කැළි කසළ අවසානයේ මහ මුහුද කරා ළඟා වෙයි. දැන හෝ නොදැන ඉන්දියන් සාගර කලාපයේ ජීවත් වන සෑම සියලු දෙනකුම මහා සාගරය අපවිත්‍ර කරන පිරිසක් බවට මේ අයුරින් පත් වී තිබේ. 

ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මියන්මාරය හා ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් බෙංගාල බොක්ක අවට පිහිටා ඇති රටවල්ය. ඒවායේ ප්‍රධාන ගංගා බෙංගාල බොක්කට යොමු වෙයි. තායිලන්තය, මලයාසියාව හා අන්දමන් දූපත් හරහා මහ මුහුදට එකතුවන ගංගා ද අවසාන වශයෙන් ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්ක අවට කලාපයට එකතු වෙයි. මේවායෙන් ගෙන එන කසළ මහ මුහුදින් නවතියි.

භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර් රැගත් නෞකා අති විශාල ප්‍රමාණයක් දිනපතා ලෝකය පුරා සාගරවල සැරිසරයි. එයින් හරි අඩක් ගමන් කරන්නේ ඉන්දියන් සාගරය ඔස්සේය. ඒවා බෙංගාල බොක්ක අවට රටවල වරාය සමඟ සම්බන්ධ වෙයි. බොරතෙල් හා ඛනිජ තෙල් නිෂ්පාදන ප්‍රවාහනය දැවැන්ත ව්‍යාපාරයකි. ලොව පුරා ප්‍රවාහනය කරන එකී නිෂ්පාදන සහිත නැව්වලින් සියයට හැත්තෑවක් ඉන්දියන් සාගරය හරහා ගමන් කරයි. ඒ සමඟින් ම සිය කුණු කන්දල් මුදාහැරීමේ බිමක් ලෙස ඉන්දීය සාගරය ද තෝතැන්න කර ගනියි. ඉන්දියන් සාගරයේ ධීවර කටයුතුවලින් රැකියා අවස්ථා සොයාගෙන ඇති පිරිස මිලියන 28.5ක් පමණ බව සංඛ්‍යාලේඛන දක්වයි. දැන හෝ නොදැන මෙම සියලුම දෙනා ඉන්දියන් සාගරය අපවිත්‍ර කිරීමේ මහා භයානක කාර්යයෙහි කොටස්කරුවෝ වී සිටිති. 

පොලිතින් හා ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් දහයක්

ජාත්‍යන්තර ගණන් ගැනීම්වලට අනුව වසරකට පොලිතින් හා ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් දහයක පමණ ප්‍රමාණයක් සාගරවලට එකතු වන බව කියැවේ. මුහුදේ දී ප්ලාස්ටික් සම්පූර්ණයෙන් දිරාපත් වීමට අවුරුදු 450ක් ගත වේ. මෙම වේගයෙන් ප්ලාස්ටික් එකතු වුවහොත් වසර 2050 වනවිට ලෝකයේ සාගරවල ජීවත්වන මසුන්ගේ බරට වඩා වැඩි ප්ලාස්ටික් තොගයක් මහා සාගරයේ පවතිනු ඇති බව දැක්වෙයි.

මේ සියල්ලේ ප්‍රතිපලයක් ලෙසින් ප්ලාස්ටික් බෝතල්, පොලිතීන්, හිස් කිරිපිටි කවර, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඈ සියලු ආකාරයේ කසළ අවසන තැන්පත් වන්නේ මාදැල් මඩිය තුළ ය. පරිසර ප්‍රේමියෙකුගේ සිත නිවෙන එකම කාරණය මේ කුණු කන්දල් නැවත මුහුදට යෑමෙන් වැළකීම සඳහා ධීවරයින් හා සහයෝගයෙන් ක්‍රියා කිරීමට ඇතැම් සංචාරක හෝටල කටයුතු කිරීමයි. වෙරළ අපිරිසුදුව තිබීම විදෙස් සැරියන්ගේ නොමනාපයට හේතුවන නිසා හෝ මාදැල්වලින් එකතු කෙරෙන කසළ තම පිරිසුදු කරන්නන් ලවා ඉවත් කරවීමට ඒවායේ කළමනාකරුවන් ඉදිරිපත් වෙයි. 

 එවැනි විසඳුමක් හුදු තාවකාලික සංසිඳීමක් උදෙසා පමණ ය. අවශ්‍ය වන්නේ ඉන් එහා විසඳුමකි. මේ දෙගං ඔස්සේ සාගරයට ගලන අනුන්ගේ කුණු කන්දලට භේදයක් නැත. එබැවින් ඒවා කාගේදැයි සෙවිය නොහැක.  මේ කුණු හානි කරන්නේ සමුදුරට හා එහි මත්ස්‍ය සම්පතට වෙද්දී ලැබෙන ප්‍රථිඵලයේ ද භේදයක් නැත. ගෝලීය උණුසුම ඉහළ යාම, දේශගුණික විපර්යාස ආදී කවර නමකින් හැඳින්වූව ද සැමට එහි සම ආදීනව භුක්ති විඳීමට සිදු වේ. එයට පිළියම් සෙවීම උදෙසා එක්ව කටයුතු කිරීම  සැමගේ යුතුකම වන්නේ ද එනිසා ය.


ලසන්ත ද සිල්වා

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published.